මහින්ද සහ වාසු අතර හමුවක්...

මහින්ද සහ වාසු අතර හමුවක්...

September 10, 2025  

Bookmark and Share
පැරණි සටන් සගයෙක් වන වාසුදේව නානායක්කාර මහතා හමුවී සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (10) එම මහතාගේ නිවසට ගොස් තිබේ.

පහත දැක්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වාසුදේව නානායක්කාර මහතා සම්බන්ධයෙන් සිය සාමාජ මාධ්‍ය ගිණුමේ තැබූ සටහනකි.

"මා සහ වාසුදේව නානායක්කාර එක්ව දේශපාලනයේ යුග ගණනාවක් පසුකර ඇත.

අප දෙදෙනාම දේශපාලනයට පිවිසියේ 1970 වර්ෂයේදීය. මිත්‍රත්වය ඉතා පැරණිය. ඒ තරමටම සංකීර්ණය. වාසු යනු අපූරු සටන් සගයෙකි. ආවේගශීලී චරිතයකි. හොඳ මිතුරෙකි.

මා මිත්‍රයාට ගෞරවයක් ලෙස මෙම සටහන තබමි. අතීතයේ කොළඹ සිට කතරගම දක්වා සිදු කරන ලද පාද යාත්‍රාව මේ වන විට බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී ඇතැයි සිතමි.

අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනී සිටිම, උතුරු නැගෙනහිර යුද්ධය සඳහා විසඳුමක් ගෙන ආ යුතුයි යන්න සහ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට එරෙහිවීම වැනි ජනතාවාදී කරුණු අරමුණු කර ගනිමින් පැවති එම පාද යාත්‍රාව ඇරඹුණේ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටිනි. ඒ 1992 වර්ෂයේ මාර්තු 16 වන දිනය.

ඒ සඳහා එකතු වූ සටන් සගයන් රැසකි. ඒ අතර එක්සත් සමාජවාදී පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද සිටියේය. 1992 වර්ෂයේ ජූලි මස පළමුවැනි දින දහවල් 12.35 ට රටපුරා සැම දෙනාම එක්ව හඬ නැගූ ජනඝෝෂාව වාසුට අමතක නොවන බව දනිමි.

භීෂණ සමයෙහි ලංකාවේ තරුණ තරුණියන්ගේ අතුරුදන්වීම්වලට එරෙහිව එම අතුරුදන් වූවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් හඬ නගද්දී ද වාසු මා සමඟ සිටියේය. එම සිදුවීම් සිදු වී වසර ගණනාවකි.

ඒ් සියල්ල අතීත දේශපාලන රස කතාය. එහෙත් එම සිදුවීම් රස කතා පමණක්ම නොවේ. එම සිදූවීම් ශ්‍රී ලාංකීය ජන හිතවාදී දේශපාලනයේ මං සළකුණුය. දේශපාලනිකව කුමන මත දැරුවද අප දෙදෙනාම සැමදා සටන් කළේ ජනතාව වෙනුවෙනි.

හිතවත් වාසු ඔබට නිරෝගී බව ප්‍රාර්ථනා කරමි."