පාසල් බස් හා වෑන් රථ හදිසි පරීක්ෂාවකට...

පාසල් බස් හා වෑන් රථ හදිසි පරීක්ෂාවකට...

September 30, 2024  

Bookmark and Share
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අද (30) දින හදිසි පරීක්ෂාවට ලක් කර තිබුණි.

හැටන් පොලිස් අධිකාරී ප්‍රදීප් විරසේකර මහතාගේ උපදෙස් මත හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතාගේ අධික්ෂණය යටතේ මෙම වාහන පරීක්ෂා කිරීම සිදුවිය.

උදෑසන පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව එම බස් රථ සහ වෑන් රථ හැටන් පොලීසිය ඉදිරිපිටට රැගෙන විත් එම වාහනවල තිබෙන සියලුම අඩුපාඩුකම් රියදුරන් වෙත පෙන්වා දී එම අඩුපාඩුකම් සපුරා ගැනිමට දින 14ක කාලයක් ලබාදීමට හැටන් පොලීසිය පියවර ගෙන තිබේ.

එම කාලය අතුරතුර හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් පෙන්වා දුන් අඩුපාඩුකම් සපුරා නොගන්නා බස් රථ සහ වෑන් රථ නුවරඑළිය දිස්ත්‍රික් මොටර් රථ පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට යොමු කර එම වාහන ධාවනයෙන් ඉවත් කිරීමට හෝ එම වාහනවලහිමිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රියදුරන් හමුවේ පැවසීය.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන ඇතැම් බස් රථ සහ වෑන් රථ මස්කෙළිය, නල්ලතන්නිය, බගවන්තලාව, නොර්වුඩ්, නෝටන්බ්‍රිජ්, ගිනිගත්හේන වැනි දුර බැහැර ප්‍රදේශවල සිට හැටන් දක්වා පැමිණෙන බවත්, එම වාහනවල පවතින අඩුපාඩුකම් නිසා වාහනවල ගමන් කරන පාසල් ළමුන් අනතුරුවලට භාජනය වීමේ දැඩි අවධානමක් පවතින බවට පාසල් ළමුන්ගේ දෙමව්පියන් විසින් හැටන් පොලීසියට කරන ලද දැනුම්දීමක් මත මෙම හදිසි පරීක්ෂා රථ වාහන පොලීසියේ නිලධාරින් විසින් සිදුකර ඇත.