ඉන්දියාව පරදවමින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක්

ඉන්දියාව පරදවමින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක්

May 1, 2024   02:56 pm

2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (30) සමත්විය.

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත්තේ කසක්ස්තානය සමගය.

2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ පැවැත්වුණේ කටාර් රාජ්‍ය සහ කසක්ස්තානය අතරය.

දැඩි වර්ෂාව මධ්‍යයේ පැවති මෙම තරගයෙන් ලකුණු 33 ට 31ක් ලෙස තියුණු ජයක් හිමිකරගත් කසක්ස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

මේ අතර දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරය.

එම තරගයේ පළමු අර්ධයේදී ලකුණු 21ක් රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පෙරමුණ හිමිකරගත් අතර ඉන්දියාව පළමු අර්ධයේදී ලකුණු 03ක් රැස්කළේය.

දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 24ක් රැස්කර ගනිද්දි ඉන්දියාවට රැස්කරගත හැකිවූයේ ලකුණු 5ක් පමණි.

ඒ අනුව ලකුණු 45ට 10ක් ලෙස පහසුවෙන් තරගය ජයගත් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

වසර 5කට පසු ජාත්‍යන්තර ටෙස්ට් රග්බි තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාව ඊයේ දැක්වූ දක්ෂතා ක්‍රීඩා විචාරකයින්ගේ ඇගයීමට ලක්විය.

2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ කසක්ස්තානය අතර එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.