අයර්ලන්තයේ පොලිස් ස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර
සයුරෙන් එතෙර

අයර්ලන්තයේ පොලිස් ස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර

September 11, 2019   02:43 pm

උතුරු අයර්ලන්තයේදී පොලිස් ස්ථාන ඉලක්ක කර පෙට්‍රල් බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ.

පසුව කළ සොයාබැලීමකදී ස්ථාන කිහිපයක තිබී බෝම්බ ද හමුවී තිබුණි.

උතුරු අයර්ලන්තයේ නැවතත් ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වී ඇති බව විදෙස් පුවත් වාර්තා කළේය.

කලහකාරී ලෙසින් හැසිරුණු තරුණ පිරිස් පොලිස් ස්ථාන වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

පැවැති කලබලකාරී තත්ත්වය අතරතුර තරුණයින් දෙදෙනෙක්ද තුවාල ලබා තිබුණි.

උතුරු අයර්ලන්තයේ ප්‍රධාන නගරයක් වන ලන්ඩන්ඩෙරී හි නිවාස සමූහයක් ආසන්නයේ තිබී පුපුරන ද්‍රව්‍ය ඇටවුම් කිහිපයක්ද සොයාගැනීමට පොලිසිය සමත්ව තිබේ.

ඒවා නිශ්ක්‍රීය කළ බව පොලිසිය ඉන් අනතුරුව පැවසුවේය.

යම් හෙයකින් මේ ඇටවුම් පුපුරාගියේ නම් ඉන් විශාල හානියක් සිදුවන්නට හැකිව තිබූ බව බලධාරීන්ගේ මතයයි.

වසර 30ක් තිස්සේ අයර්ලන්තයේ පැවැති ගැටුම් යම්තාක් හෝ සමනය වූයේ 1998 වසරේදී අත්සන් තැබුණු සාම ගිවිසුම හේතුවෙන්.

කෙසේ වෙතත් එක්සත් අයර්ලන්තයක් වෙනුවෙන් සටන්වැදුණු සටන්කාමීන්, බ්‍රිතාන්‍යයට සහාය පළකරන කණ්ඩායම් ඉලක්ක කළ ප්‍රහාර මුලුමනින්ම නැවැත්වූයේ නැහැ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වයාමට ගත් තීන්දුවත් සමගින් උතුරු අයර්ලන්තයේ ගැටුම් වර්ධනය වන ආකාරයක් දක්නට ලැබුණි.

මෙය ඉතා අසතුටුදායක තත්ත්වයක් බව විචාරක මතයයි.