ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් පාකිස්ථාන සංචාරය ප්‍රතික්ෂේප කළේ ඉන්දියාවේ බලපෑමටද?

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් පාකිස්ථාන සංචාරය ප්‍රතික්ෂේප කළේ ඉන්දියාවේ බලපෑමටද?

September 10, 2019   04:27 pm

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දස දෙනෙකු පාකිස්ථාන තරග සංචාරය ප්‍රතික්ෂේපකිරීම සම්බන්ධයෙන් ඉන්දියාව වගකිව යුතු බවට පාකිස්ථාන අමාත්‍යවරයෙකු ප්‍රකාශ කර ඇත. 

පාකිස්ථාන විද්‍යා හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් චෞද්රි ප්‍රකාශ කර ඇත්තේ පාකිස්ථානයේ තරග සංචාරයට සහභාගී වුවහොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී කර නොගන්නා බවට ඉන්දීය බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට බලපෑම් සිදුකර ඇති බවයි. 

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පාකිස්ථාන විද්‍යා හා තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා සිදුකර ඇති මෙම ප්‍රකාශයට පාර්ශව රැසකින් විවිධ ප්‍රතිචාර පළ වී ඇති අතර එම ප්‍රකාශය දැඩිව හෙළා දකිමින් ඉන්දීය මාධ්‍ය ද ප්‍රතිචාර දක්වා තිබේ. 

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් පාකිස්ථාන තරග සංචාරය ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීම, පාකිස්ථාන විද්‍යා හා තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ඉන්දීයරජයට එරෙහිව පිළිකුල් සහගත ආකාරයෙන් භාවිත කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පාකිස්ථාන තරග සංචාරය සඳහා සහභාගීවීම සම්බන්ධයෙන් සියලු ක්‍රීඩකයින්ගේ කැමැත්ත විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකු සංචාරයට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ.