ආර්ජන්ටිනාව වත්මන් ජනාධිපතිවරයා ලද දරුණු පරාජය
සයුරෙන් එතෙර

ආර්ජන්ටිනාව වත්මන් ජනාධිපතිවරයා ලද දරුණු පරාජය

August 13, 2019   11:14 am

පසුගියදා අවසන් වූ ප්‍රාථමික මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව ආර්ජන්ටිනා කොටස් වෙළෙඳපොළ සීඝ්‍ර කඩාවැටීමකට ලක්ව ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.

පැවැති ප්‍රාථමික මැතිවරණයෙන් වත්මන් ජනාධිපති මවුරිසියෝ මාක්‍රිගේ පාර්ශ්වය ලද කැපීපෙනෙන පරාජයත් සමගින් ආර්ජන්ටිනාවේ දේශපාලනය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

ඒ විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂක ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස්ගේ ජනප්‍රිය පක්ෂය එහිදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 47ක ප්‍රතිශතයක් දිනා මැතිවරණයේ පෙරමුණ ගැනීමත් සමඟයි.

මෙහිදී ජනාධිපති මාක්‍රිගේ පක්ෂයට දිනාගැනීමට හැකිව ඇත්තේ සියයට 32.ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

මේ අතර උද්ගතව ඇති දේශපාලනය වටපිටාවත් සමගින් ආර්ජන්ටිනා ආර්ථිකය දැඩි අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් පසුව එරට කොටස් වෙ‍ළෙදපොළ සියයට 30කින් ක්ෂණිකව කඩාවැටී තිබේ.

මේ අතර ආර්ජන්ටිනාවේ පෙසෝ මුදල් ඒකකයද සියයට 25කින් කඩාවැටී ඇති අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඒකක 59ක් ලෙසින් එය සටහන් වුණි.

එහි අගය ඊට පෙර සටහන්ව තිබුණේ ඒකක 45.2යි 5ක් ලෙසයි.

ආර්ජන්ටිනාවේ මහා මැතිවරණයේ පළමුවරට ලබන ඔක්තෝබර් මස 27වැනිදා පැවැත්වීමට නියමිතයි.

එහිදී එරට ජනාධිපතිවරයා, කොන්ග්‍රස් සභිකයන් හා බොහෝ ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් තේරීපත් කරගැනීමට සූදානමින් පසුවෙයි.

එහිදී සියයට 45කට වඩා වැඩි ප්‍රතිශතයක ඡන්ද ලබාගන්නා ජනාධිපති අපේක්ෂකයා හෝ අනෙක් සමීපතම අපේක්ෂකයාට වඩා සියයට 10කට වැඩියෙන් ඡන්දය ලබාගන්නා පෙරමුණේ පසුවන අපේක්ෂකයා ජය ලබාගනු ඇත.

යම් හෙයකින් කිසිදු අපේක්ෂකයෙකු අවශ්‍ය ප්‍රතිශත ලබානොගතහොත්, ජනාධිපතිවරණයේ දෙවැනි අදියර ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.