ප්‍රාතිහාර්යයන් විශ්වාස කළ ඔස්ට්‍රේලියාවේ වත්මන් අගමැති
සයුරෙන් එතෙර

ප්‍රාතිහාර්යයන් විශ්වාස කළ ඔස්ට්‍රේලියාවේ වත්මන් අගමැති

May 19, 2019   01:25 pm

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය පසුගියදා නිමාවට පත්වුණේ පාලක ලිබරල් සන්ධානයට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමින්.

තමා සෑමවිටම ප්‍රාතිහාර්යයන් විශ්වාස කළ බව ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත.

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඔස්ට්‍රේලියාවේ වත්මන් අගමැති ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත්  මධ්‍ය දක්ෂිනාංශික පාලක ලිබරල් සන්ධානය ඉන් විශිෂ්ට ජයක් හිමිකරගෙන තිබේ.

ඒ අනුව සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තිවල සිට මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ ස්කොට් මොරිසන්ට යළිත් ඔස්ට්‍රේලියානු අගමැති ධුරය හිමිවනු ඇති. 

පාලක ලිබරල් සන්ධානයට එරට පාලන බලය හිමිවන්නේ සිව්වෙනි වරට වන අතර මෙම ජයග්‍රහණයත් සමග ඔවුන්ගේ ධූර කාලය තවත් වසර 6කින් දීර්ඝ වනු ඇති.

ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් අගමැති ස්කොට් මොරිසන් ඒ පිළිබඳව ඡන්ද දායකයින්ට සිය කෘතඥතාව පළ කළේය.

ජයග්‍රහණයෙන් අතිශය උද්දාමයට පත්ව සිටින ඔහු වැඩිදුරටත් සඳහන් කළේ  තමා සෑමවිටම ප්‍රාතිහාර්යයන් විශ්වාස කළ බවයි.

පසුගිය වසරේ පක්ෂ නායකත්වය සඳහා වූ තරගයෙන් මැල්කම් ටර්න්බුල් පරාජයවූ බැවින් ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ මීළඟ අගමැති ධූරයට පත්වුණි.

ඔහු එරට 30 වැනි අග්‍රාමාත්‍යවරයායි.

නිරන්තර දේශපාලන බල පෙරලි සිදුවන රටක් ලෙස සැළකෙන එරට දශකයක් වැනි කෙටි කාලයක් තුළ  බලයට පත් වූ 7 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසද ඔහු සැළකෙ.

ඔස්ට්‍රේලියාවේ හිටපු සංචාරක නිලධාරියෙක් වූ ස්කොට් මොරිසන් 2007 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත් වුණි. 

එතැන් සිට ස්කොට් මොරිසන් ප්‍රධාන පෙළේ ඇමති ධූර තුනක් හොබවනු ලැබුවේය.

සමාජ මැදහත් ක්‍රියාකාරිකයෙක් වූ ඔහු ලිබරල් පක්ෂය මධ්‍යස්ථ ප්‍රතිපත්ති ඔස්සේ ගෙනයායුතු බව ඉල්ලා සිටියේය.

ටෝනි ඇබොට් රජයේ සංක්‍රමණ අමාත්‍යවරයා වූ ඔහු, එම අවධියේ දී ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත්විය.

"බෝට්ටු නවතනු" නම් ඔස්ට්‍රේලියානු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් සමග දැඩි ක්‍රියාමාර්ග ගන්නා පුද්ගලයෙක් ලෙසද  ස්කොට් මොරිසන් ප්‍රසිද්ධියක්  ඉසුලුවෙය.

ඔස්ට්‍රේලියානු සරණාගතභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ මතභේදාත්මක ප්‍රතිපත්ති සහ රැඳවුම් කඳවුරු නිසා ඔහුට විවේචන ද එල්ල විය.

කෙසේවෙතත්, විශාල අපේක්ෂා සහිත, ප්‍රායෝගිකව සිතන, දිගු දැක්මක් සහිත දේශපාලනඥයෙකු ලෙස ඔහු කැපී පෙනෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර මැතිවරණයෙන් පරාජයට පත් කම්කරු පක්ෂයේ නායක බිල් ෂෝර්ට්න් පරාජය උපේක්ෂාවෙන් යුතුව පිළිගෙන තිබුණි.

කෙසේ වෙතත් මෙම පරාජයත් සමග ඔහු කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කළේය.