අමෙරිකාව-චීනය අතර වෙළඳ යුද්ධය දරුණු අතට
සයුරෙන් එතෙර

අමෙරිකාව-චීනය අතර වෙළඳ යුද්ධය දරුණු අතට

May 18, 2019   02:41 pm

පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව අමෙරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය තවදුරටත් උත්සන්න වී ඇත.

මේ හේතුවෙන් අමෙරිකාව සිය අසල්වැසි රාජ්‍යයන් සමඟ වෙළඳ සබඳතා ශක්තිමත් කරගැනීමට අවධානය යොමුකර ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා කළේය.

කැනඩාව සහ මෙක්සිකෝව සමඟ නව ගිවිසුමකට එළඹීමට අමෙරිකාව පියවර ගෙන ඇත.

මේ නව ගිවිසුම යටතේ අමෙරිකාව  ආනයනික වානේ සහ ඇලුමිනියම් සඳහා පනවා ඇති බදුවලින් එම රටවල් නිදහස් කරනු ලබන බවට සඳහන්ය.

චීනය සමග පවතින වෙළඳ යුද්ධය උත්සන්න වී ඇති අතරවාරයේ අමෙරිකාව මෙම පියවර ගෙන ඇත්තේ සෙසු රටවල් වලින් රට තුළට ලෝහ ආනයනය කිරීමට තිබූ සියලු මාර්ග අහුරමිනි.

කැනඩාව, මෙක්සිකෝව, වැනි රටවලින් තම රටට ආනයනය කරන වානේ හා ඇළුමිනියම් සඳහා අයකරන බදු ඉහළ දැමීමට අමෙරිකාව පසුගිය වසරේ පියවර ගත්තේය.

කැනඩාව යනු අමෙරිකාවේ ප්‍රමුඛම වානේ ආනයනකරුවා වන අතර දෙරට අතර සබඳතා පළුදු වීමටද  එය හේතුවක් වුණි.

අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝව අතර වෙළෙඳ ගිවිසුමටද ඉන් බලපෑම් එල්ල වූ බව විචාරකයින් පෙන්වා දෙයි.

මේ අතර අමෙරිකාවේ තීරණයට ප්‍රතිචාර දක්වමින් කැනඩාව ආනයනික ඩොලර් බිලියන 12ක වටිනාකමකින් යුත් අමෙරිකානු නිෂ්පාදන සඳහා පනවා තිබූ බදු ඉවත් කිරීමට පියවර ගත්තේය.

අමෙරිකාවේ ක්‍රියාමාර්ගය සිය අසල්වැසි රටවල් සමඟ පළුදු වී තිබූ සබඳතා යළි වර්ධනය කරගැනීමට රුකුලක් බව විචාරකයින් පෙන්වා දෙයි.