සිරියාවේ හිටපු ජනාධිපතිට මරණ දඬුවම

සිරියාවේ හිටපු ජනාධිපතිට මරණ දඬුවම

August 11, 2026   03:26 pm

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අසාද් සහ ඔහුගේ බාල සහෝදරයාට මානවත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර තිබේ.

සිරියානු අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර, අසාද් සහ ඔහුගේ සහෝදරයා අධිකරණයේ පෙනී නොසිටි අවස්ථාවකදී නඩුව විභාගයට ගෙන මෙම දඬුවම නියම කර ඇත.

ලක්ෂ පහකට ආසන්න පිරිසකට ජීවිත අහිමි වූ වසර 14ක සිවිල් යුද්ධයේදී සිදුවූ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මොවුන්ට මෙම දඬුවම හිමිවිය.

2011 දී දාරා (Daraa) ප්‍රදේශයේ විරෝධතා මර්දනය කිරීමට නායකත්වය දුන් අසාද්ගේ ඥාති සොහොයුරෙකු වන ආටෙෆ් නජීබ්ටද (Atef Najib) මරණ දඬුවම නියම විය.

අසාද් සහ ඔහුගේ සොහොයුරා රුසියාවට පලා ගොස් ඇති අතර, අත්අඩංගුවට පත් වූ නජීබ් බන්ධනාගාර ඇඳුමින් සැරසී අධිකරණ කූඩුවේ සිටියදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.