බීර සෑදීමට සහල් භාවිතය තහනම් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම යළි කැඳවීමට දිනයක්

බීර සෑදීමට සහල් භාවිතය තහනම් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම යළි කැඳවීමට දිනයක්

July 30, 2026   11:21 am

බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතයට අනුමැතිය නොදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම, විරෝධතා ගොනු කිරීම සඳහා ඔක්තෝබර් මස 02 වන දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් වන ආර්. ගුරුසිංහ සහ ඒ. ප්‍රේම් ශංකර් යන මහත්වරුන් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන කේ. කනගීෂ්වරන්, සුමති ධර්මවර්ධන සහ අලි ශබ්රි යන මහත්වරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ නඩුකරයට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව, වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීමට අවසර ලබා දුන් අධිකරණය නඩුව ඔක්තෝබර් 02 වන දින යළි කැඳවීමට නියම කළේය.

බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා සහ එම නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

සුරාබදු පනතේ දෙවන වගන්තිය මඟින් "බීර" යනුවෙන් අර්ථකථනය කර ඇත්තේ මෝල්ට් වලින් සාදන ලද පැසුණු මත්පැන් බවත්, එහෙත් වර්තමානයේ බොහෝ නිෂ්පාදකයින් බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

එය සුරාබදු පනතේ විධිවිධානවලට පටහැනි වේ.

රජය විසින් සහල් නිෂ්පාදනය සඳහා මහජන මුදලින් දැවැන්ත සහනාධාර ලබා දෙන පසුබිමක, එම සහල් බීර වැනි වාණිජ කර්මාන්ත සඳහා යෙදවීමෙන් ජාතික ආර්ථිකයට දැඩි අහිතකර බලපෑමක් එල්ල වන බවත්, මෙරට සහල්වලින් ස්වයංපෝෂිත වීමට එය බාධාවක් වී ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමිතිය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රමිති යාන්ත්‍රණය නිසි ලෙස යාවත්කාලීන කර නොමැති බවද පෙත්සමේ සඳහන් වේ.

ඒ අනුව, බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීමට අනුමැතිය දීම වළක්වාලමින් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.