ලෝක කාන්තා ටෙනිස් පිටියේ තරග වැදීමට නම් ලිංගභේද පරික්ෂාව අනිවාර්යයි

ලෝක කාන්තා ටෙනිස් පිටියේ තරග වැදීමට නම් ලිංගභේද පරික්ෂාව අනිවාර්යයි

July 20, 2026   03:00 pm

ලෝක කාන්තා ටෙනිස් පිටියේ තරඟ වැදීම සඳහා ක්‍රීඩිකාවන් තම ජීවිත කාලය තුළ එක් වරක් පමණක් සිදු කළ යුතු අනිවාර්ය ජාන පරීක්ෂණයකින් සමත් විය යුතු බව කාන්තා ටෙනිස් සංගමය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

තම සුදුසුකම් ලැබීමේ ප්‍රතිපත්තිය යාවත්කාලීන කරමින් කාන්තා ටෙනිස් සංගමය මෙම දැඩි තීරණය ගෙන ඇත.

මෙම නව රෙගුලාසිය යටතේ ක්‍රීඩිකාවන්ගේ ජීව විද්‍යාත්මක ලිංගභේදය නිවැරදිව හඳුනා ගැනීම සඳහා 'SRY gene' පරික්ෂා කිරීමට නියමිතය.

ලේ සාම්පලයක් හෝ කම්මුලෙන් ලබා ගන්නා සෛල සාම්පලයක් මඟින් මෙම පරීක්ෂණය ඉතා පහසුවෙන් සිදු කළ හැකි බව කාන්තා ටෙනිස් සංගමය පවසයි.

මීට පෙර පැවති රීතිවලට අනුව, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තමන් ස්ත්‍රී ලිංගිකයන් ලෙස ප්‍රකාශ කර, වසර දෙකක කාලයක් පුරා තමන්ගේ ටෙස්ටොස්ටෙරෝන්  හෝමෝන මට්ටම පාලනය කර ගනිමින් කාන්තා තරග සඳහා සහභාගී වීමට අවස්ථාව තිබුණි. 

නමුත් නව සංශෝධනයත් සමඟ එම අවස්ථාව අහිමි වන අතර, ජීව විද්‍යාත්මකව කාන්තාවන් බව ජාන පරීක්ෂණයෙන් තහවුරු වන අයට පමණක් ඉදිරියට තරඟ වැදිය හැකිය.

කාන්තා ටෙනිස් සංගමයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලිකත්වය සහ දත්ත රහස්‍යභාවය උපරිමයෙන් රැකෙන පරිදි 2026 වසරේ සිට මෙම පරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කරන බවය.

මෙය ඉතා සංවේදී සහ සංකීර්ණ මාතෘකාවක් වුවද, සියලුම ක්‍රීඩිකාවන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, බිලී ජීන් කිං වැනි ප්‍රවීණ ක්‍රීඩිකාවන් සහ සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන පවසන්නේ මෙලෙස ක්‍රීඩිකාවන් බැහැර කිරීම මානුෂීය වශයෙන් සිදු කරන වෙනස්කොට සැලකීමක් බවය.

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය , ලෝක බොක්සිං සංගමය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද මෑතකදී ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර තරග සඳහා මෙවැනිම එක්දින ජාන පරීක්ෂණ රීති අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබුණි.