විනිසුරුවරුන්ට ඇති අභියෝග ගැන යසන්ත කෝදාගොඩගෙන් අනාවරණයක්
July 19, 2026 12:47 pm
විනිසුරුවරුන් මේ වන විට අභියෝග රැසකට මුහුණ දී සිටින බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පොදු නීති සම්ප්රදාය අනුකරණය කරන රටක් ලෙස ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල ප්‍රකාශිත නඩු තීන්දු විවිධ අර්ථ නිරූපණ සහ මත පිළිබඳව විනිසුරුවරුන් සැළකිලිමත් විය යුතු බවය.
නීතීඥ විජිත කුමාරගේ විසින් රචිත ‘‘ඇප සම්බන්ධ නීතීය‘‘ නැමැති ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයට එක්වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා,
"අද වෙනකම්ම මේ දිවයිනේ සමහර මහේස්ත්‍රාත්වරු සහ මහේස්ත්රාත්වරියන් ඉන්නවා ස්වකීය රාජකාරි කිරීම සඳහා දවසකට බෝල්පොයින්ට් පෑනක් ගෙවෙනකම් ලියන. කිලෝමීටර් 2.5ක්ද කොහෙද ඉරක් අඳින්න පුළුවන්ලු බෝල්පොයින්ට් පෑනක් ගෙවෙනකම් ඇන්දොත්. තමන්ට ගන්න තියෙන තීරණ අතුරින් වඩාත්ම සංවේදී තීරණයක් තමයි යම්කිසි සැකකරුවෙක්ට ඇප ප්රදානය කරනවාද, එසේ නැත්නම් ඔහු රක්ෂිත බන්ධනාගාරයට පත් කරනවාද නැද්ද කියන එක. ඉතින් මේක බොහොම ගැඹුරින් අධ්‍යයනය කරලා, තමා සතු ඉතාමත් සීමිත වෙලාව තුළ නිවැරදිව ගත යුතු තීරණයක්. ඔවුන්ට ඒ වෙලාවේ ඔවුන්ගේ හිතට එන කරුණු, ඔවුන් හමුවේ තියෙන සැල කිරීම්, ඔවුන් හමුවේ තියෙන ලේඛනවලින් අනාවරණය වෙන කරුණු, ඒ සියලුම දේවල් ඉතාමත් ක්ෂණයකින් අධ්‍යයනය කරලා තමයි ඔවුන්ට තීරණයක් ගන්න සිදුවෙන්නේ. ඒ තීරණයට මහජනතාව හැටියට එකඟ වෙන්නත් පුළුවන්, එකඟ නොවෙන්නත් පුළුවන්. මොකද මහජනතාවත් මේ දෙස බලන්නේ මේ ආකාරයේ කන්නාඩියකින් නෙවෙයි, කාචයක් විතරක් තියෙන කන්නාඩියකින් නෙවෙයි. ටින්ටඩ් ග්ලාස් එකකින්. ඒ නිසා ඉතා සැහැල්ලුවෙන් අපිව වරදවා වටහා ගන්න එපා."
මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය විසින් සිදුකර ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා මෙලෙස අදහස් පල කළේය.
"කියන්න තියෙන්නේ මෙච්චරයි ඔබ කියන්නේ මේ රටේ නඩු ගොඩගැහිලා තියෙනවා, ඒ නිසා මේ විනිශ්චයකාරවරුන්ගේ අත්දැකීම් උපයෝගී කරගන්න ඕනේ නම්, මේ බොරු කතා කරන්නේ නැතුව ඉස්සෙල්ලම මේ මාස ගාණක් තිස්සේ හිස්වෙලා තියෙන, පුරප්පාඩු වෙලා තියෙන විනිශ්චයකාර ධුර 8 පත් කරන්න. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (1) ප්‍රකාරව ජනාධිපතිතුමාට පැවරිලා තියෙන බලයක්. මේක ජනාධිපතිතුමා පත් කරන්නේ නෑ..එතකොට මේ ආණ්ඩුව කාර්යක්ෂමද? මේ ආණ්ඩුව නිද්රාශීලීවද ඉන්නේ? ජනාධිපතිතුමා ඇයි මේ විදිහට චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටින්නේ?
දැන් අද වෙනකොට විනිසුරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, පොදුරාජ්‍ය නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය, ප්‍රාදේශීය නීතිඥ සංගමයක් හැටියට කඩුවෙල නීතිඥ සංගමය, මේ සෑම ක්ෂේත්රයක් තුළම පෙන්නුම් කරන්නේ මෙයට විරුද්ධව තියෙන ප්‍රකාශ. ඒ ප්‍රකාශ පිළිබඳවත් අඩුම තරමේ තේරුම් අරගෙන ආණ්ඩුව කළ යුත්තේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරනවා නම් මුලින්ම පුරප්පාඩු වෙලා තියෙන විනිශ්චයකාර ධුර 8 පුරවලා ඉවරවෙලා ඔය සාකච්ඡාව ආරම්භ කරන්න."
