ඩෙංගු මරණ 53න් 37ක්ම කාන්තාවන්

ඩෙංගු මරණ 53න් 37ක්ම කාන්තාවන්

July 19, 2026   11:49 am

දිවයින පුරා සිදුවන ඩෙංගු මරණවලින් බහුතරයක් කාන්තාවන් වන බැවින් රෝගී තත්ත්වයන් මතු වූ වහාම වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය දැනුම් දී තිබේ.

මේ වන විට වාර්තා වන සමස්ත ඩෙංගු මරණ 53න් 37 දෙනෙකුම කාන්තාවන් වන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පෙන්වා දී ඇත.

මෙලෙස කාන්තා මරණ කැපී පෙනෙන ලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ඔවුන් රෝගී වූ විට අවශ්‍ය විවේකය නොගෙන දිගින් දිගටම නිවෙස්වල වැඩකටයුතුවල නිරත වීම වන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසන්නේ කාන්තාවන් රෝගී තත්ත්වයට පත් වූ විට සම්පූර්ණයෙන් විවේකීව සිටිය යුතු වුවත්, නිවෙස්වල වැඩකටයුතු නිසා ඔවුන් තමන්ගේ රෝගී තත්ත්වය නොසලකා හරින බවය.

මේ හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද වන අතර, ප්‍රමාද වී රෝහල්ගත කිරීම හරහා මරණය පවා සිදු විය හැකි බවද වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම ඩෙංගු වැනි බරපතළ රෝගී තත්ත්වයන් හමුවේ පාරම්පරික ඖෂධ හෝ අත්බෙහෙත් අත්හදා බැලීම අතිශය අවදානම් සහගත බව ද වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි.

සාමාන්‍ය රෝගාබාධ සඳහා පාරම්පරික ඖෂධ යහපත් ප්‍රතිඵල ගෙන දුන්නද, ඩෙංගු වැළඳී ඇති විටෙක එවැනි පරීක්ෂණාත්මක දේ කිරීමෙන් වැළකී වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතු බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියේය.

අත්බෙහෙත් සිදු කර රෝග ලක්ෂණ උත්සන්න වූ පසු රෝහල් කරා රැගෙන එන රෝගීන් යථා තත්ත්වයට පත් කිරීම අතිශය දුෂ්කර වන බවද වෛද්‍ය කපිල කන්නංගර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා අක්මාව සහ වකුගඩු අකර්මණ්‍ය වීම වැනි දරුණු සංකූලතා ඇති වන අතර එවැනි අවස්ථාවල ඖෂධවලට ද එම රෝගීන් සුව කළ නොහැකි තත්ත්වයක් උද්ගත වන බවය.

නවතම වාර්තාවලට අනුව දිවයින පුරා දැනට වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,478 ක් වන අතර, පසුගිය ජූලි මාසයේදී පමණක් රෝගීන් 19,100ක් වාර්තා වී තිබේ. 

ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 843කි.

මේ වනවිට ඩෙංගු රෝග ව්‍යාප්තියේ යම් අඩුවීමක් දක්නට ලැබුණද එය තවමත් අවදානම් මට්ටමක පවතින බවද වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

එබැවින් කිසියම් අයෙකුට රෝග ලක්ෂණ තිබේ නම් දින දෙකක් ඇතුළත සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙසත් ඔහු මෙහිදී සඳහන් කර සිටී.

එමෙන්ම තමා අවට ප්‍රදේශය පිරිසිදුව තබා ගනිමින් ඩෙංගු මර්දනය සඳහා දායක වීම සමස්ත මහජනතාවගේම වගකීමක් වන බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සිහිපත් කර සිටී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා,

''ඇත්තටම අපි හිතනවා කාන්තාවන් රෝගී තත්ත්වයට පත් වුණාට පස්සේ විවේකීව සිටිය යුතු නිසා එසේ නොවී සිටීම මේ තත්ත්වය ඇති වෙන්න හේතුවක් කියලා.. ඒක නිසා අපි ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා හිටිනවා කාන්තාවන්ට මේ රෝගී ලක්ෂණ ඇති වුණොත් එහෙම වහාම පළවෙනි දවසෙම රෝහලකට ගිහිල්ලා හෝ වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙලා උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න කියලා.

දෙවෙනි කාරණය තමයි සමහර රෝගීන් එනවා පාරම්පරික ඖෂධ අරගෙන. එහෙම ඖෂධයක් ගන්න පුළුවන් අවස්ථාවල් තිබෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඩෙංගු රෝගයත් එක්ක සලකනකොට ඒක අවදානම්.. ගස්ලබු කොළවල යුෂ, පොලොස් වර්ග තම්බලා බොන යුෂ, මොණර කුඩුම්බිය වගේ දේවල් තම්බලා බොනවා. ඉතින් ඒ වගේ දේවල්වලින් යම් අවස්ථාවලදී ප්‍රතිපල තිබුණත් ඩෙංගු රෝගයත් එක්ක ඒක හරියන්නේ නෑ.. මොකද එවැනි රෝගීන් ඉතාමත්ම අමාරු අවස්ථාවට පත් වෙලා තමයි රෝහල් ගත වෙන්නේ. නැවත ඒ රෝගියාව සුවපත් කිරීම ඉතාමත් අමාරුයි. 

උණ කියන රෝග ලක්ෂණයක් පමණයි. උණ කියන එක ඩෙංගුවලටත් පොදුයි. ඉතින් ඩෙංගු හැදුනහමත් උණ හැදෙනවා. උණ හැදුනහම පළවෙනිම දේ තමයි වෙන කිසිම බෙහෙතක් ගන්න එපා. පැරසිටමෝල් වර්ගයක් පමණක් ගන්න, උණ අඩු කිරීම සඳහා. දෙවෙනි කාරණය තමයි දැන් අපිට ඊයේ පැවති විශේෂඥ වෛද්‍ය හමුවේ දී කිව්වා රෝහල්වල ඉන්නවා අත්බෙහෙත් අරන් ප්‍රමාද වෙලා රෝහලට පැමිණි රෝගීන්. ඉතින් මේ රෝගීන්ව නැවත යථා තත්ත්වයට පත් කරගැනීම ඉතාමත් අමාරුයි. ඩෙංගු රෝගය සම්බන්ධව ඔබ ගන්නා ඒ ක්‍රියාමාර්ගවලදී අත්බෙහෙත් කිරීම මේ අවස්ථාවේදී කරන්න එපා. ඒ කියන්නේ අත්බෙහෙත් කර කර ඉඳලා දවස් දෙක, තුනක් ගිහින් රෝග ලක්ෂණ උත්සන්න වුණාට පස්සේ ආවම, එතනදී අක්මාවට ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට වකුගඩුවලට ගැටළු ඇතිවෙනවා. එතකොට මේවා නැවත යථාවත් කිරීමට සමහර වෙලාවට බෙහෙත්වලටත් කරන්න බැරි තත්වයක් එන්න පුළුවන්''