මුල් ළමා විය සංවර්ධන ක්ෂේත්‍රය ගැන පළවන මත ගැන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

මුල් ළමා විය සංවර්ධන ක්ෂේත්‍රය ගැන පළවන මත ගැන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

June 19, 2026   11:06 am

මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් ඇතැම් පාර්ශව විසින් ජනගත කරනු ලබන සාවද්‍ය මත සම්බන්ධව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය මගින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මිනිසෙකුගේ ජීවන කාලය තුළ සංවේදීම සහ තීරණාත්මකම අවධිය ලෙස සැලකෙනු ලබන්නේ මුල් ළමා විය අවධිය බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඇතුළුව ලොව බොහෝ දියුණු රටවල් එම අවධිය උපතේ සිට වයස අවුරුදු 8 දක්වා කාල රාමුව ලෙස පිළිගනු ලබන බවත්ය.

ශ්‍රී ලංකාව තුළ එය උපතේ සිට වයස අවුරුදු 5 දක්වා කාලය ලෙස සලකා කටයුතු කරන බවත් සඳහන් කර අමාත්‍යාංශය සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ මෙම අවධියේදී දරුවෙකුගේ මොළය තුළ තත්ත්පරයකට නියුරෝන මිලියනයකට වඩා අලුතින් නිර්මාණය වන බවත් ජීවන කාලයේ කිසිම අවධියක එවැනි වේගවත් නියුරෝන වර්ධනයක් සිදු නොවන බවත්ය.

එබැවින් මෙම කාල පරාසය තුළ දරුවාගේ මොළය විසින් ග්‍රහණය කර ගනු ලබන අත්දැකීම් හරහා එම දරුවාගේ ඉදිරි ජීවන කාලය තුළ සිදුකරන හැසිරීම්, ප්‍රතිචාර දැක්වීම්, චිත්තවේග ප්‍රකාශය, ධාරණය ඇතුළු සියලු ක්‍රියාවලින් තීරණය කරනු ලබන බවත් අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

මෙම අවදියේදී දරුවෙකු වෙත විෂ සහිත ආතතිය එසේත් නොමැති නම් Toxic Stress බලපෑමක් ඇති වුවහොත් ශරීරය තුළ කෝටිසෝල් (Cortisol) වැනි ආතති හෝමෝන නිරන්තරයෙන් ශ්‍රාවය වීම සිදුවන අතර ඒ හරහා එම දරුවා වැඩිහිටි වූ පසුවද විවිධ සංකූලතාවලට ලක්වීමේ දැඩි අවදානමක් නිර්මාණය කරනු ලබත් එහි සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ දරුවෙකු පෙරපාසලේ සිටම අකුරු ඉලක්කම් භාෂා සහ ගණිත ක්‍රම වැනි සංකීර්ණ ඉගැන්වීම් වලට යොමු කිරීම සිදුකරන අතර ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනයෙන් ඈත් කර තබන බවත් පෙන්වා දී ඇති අමාත්‍යාංශය මෙම තත්ත්වය හරහා දරුවන්ගේ නියුරෝන උත්තේජන ක්‍රියාවලියට දැඩි හානි පමුණුවන බවද පෙන්වා දී තිබේ.

මෙම ක්ෂේත්‍රය තුළ සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු කරගෙන ඇති කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාවේ මුල් අමාවිය සංවර්ධන ක්ෂේත්‍රය තුළ පරිවර්තනයක් සිදු විය යුතු බව අමාත්‍යාංශ හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රය භෞතික සහ ප්‍රතිපත්තිමය වශයෙන් ගුණාත්මකව සංවර්ධනය කිරීම මේ  වන විට ආරම්භ කර ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කළේය.

එහි පළමු අදියර ලෙස විද්‍යාත්මක ප්‍රමිතයින්ට අනුව අධ්‍යාපන, සෞඛ්‍ය,  ළමා සුභසාධන සහ ආරක්ෂණ ඇතුළු විෂය ප්‍රවීණයන්ගේ දායකත්වයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය, යුනිසෙෆ් එක්ව ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂය මාලා රාමුව පසුගිය 2025 වසරේ නොවැම්බර් මස එළි දක්වන ලද අතර 
මේ වන විට එම විෂය මාලා රාමුව ඉගැන්වීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීම (ToT) මුළු දිවයිනම ආවරණය කරමින් පවත්වනු ලබන අතර එය අවසන් අදියරේ පවතින බවත් පෙන්වා දී තිබේ.

මෙම ගුණාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළ පෙර පාසල් ඇතුළු මුල් අමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නියාමනය අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා දැනට පවතින විශාලතම අභියෝගය ලෙස ලියාපදිංචියකින් තොරව පෙර පාසල් පවත්වාගෙන යාම බව නිරීක්ෂණය වී ඇති බැවින් එම නිසා හුදෙක් ජීවනෝපාය මාර්ගයකට එහා ගිය ලෝකයේ අනාගතය තීරණය කරනු ලබන විශේෂ සේවාවක් ලෙස සලකමින් මෙම සේවාව පවත්වාගෙන යා යුතුව ඇති බවත් සඳහන් කළේය.

මෙම ක්‍රියාවලියේදී පෙරපාසල් ගුරුවරුන්ගේ වෘත්තීය ගුණාත්මක භාවය පවත්වාගෙන යාමද අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා ක්‍රමවේදයන් ඇති කරමින් ජාතික වෘත්තීය අධ්‍යාපන සහ රජයේ ලියාපදිංචි කළ වෘත්තිය අධ්‍යාපන ආයතන හරහා වැඩසටහන් සකස් කරමින් පවතින අතර මෙම පාඨමාලා හරහා දැනට සේවයේ නියුතු පෙරපාසල් ගුරුවරුන් සහ ඉදිරියේදී සේවයට එක්වීමට අදහස් කරන ගුරුවරුන් යන සියලු දෙනා ආවරණය කෙරෙන බැවින් වෘත්තීය සුරක්ෂිතතාව අහිමිවේ යැයි අනවශ්‍ය බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

එසේම පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සඳහා රජයක් ලෙස ගරු කරනු ලබන අතර රටේ නව පරපුර වෙනුවෙන් සිදු කරන මෙහෙවරට ගෞරවනීය ගුණාත්මක භාවයක් එක් කිරීම රජයේ අරමුණ බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

2024 වර්ෂය දක්වා රු: 5000/= ක් ව පැවති පෙර පාසල් ගුරුවරුන්ගේ ගුරු අභිමානී දීමනාව නව රජය පත් වී ඉතාම කෙටි කලක් තුළ රු: 6000/= දක්වා ඉහළ නැංවීමට හැකි වූ අතර ඉදිරියේදී එය තවත් සාධනීය ලෙස ඉහළ නැංවීමටත් පෙර පාසල් ගුරු විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමටත් දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් පෙන්වා දී ඇති අමාත්‍යාංශය දෙමව්පියන් වෙත දැනුවත් කර ඇත්තේ පෙර පාසලක් වෙත සිය දරුවා යොමු කිරීමේ දී, එය රජයේ ලියාපදිංචි කළ පෙර පාසලක් ද  නැතිද යන්න තහවුරු කරගත යුතු බවය. 

එමෙන්ම තම දරුවා යොමු කරන පෙර පාසලේ දිවා සුරැකුමක් ද වේ නම් එය දිවා සුරැකුමක් ලෙස ලියාපදිංචි කර ඇත්ද යන බව තහවුරු කර ගත යුතු බවත් දරුවාගේ පෙර පාසලේ ගුරුවරුන් පුහුණුව සහ ඩිප්ලෝමා ලැබූ ආයතන රජයේ ලියාපදිංචි ආයතන ද වග තහවුරු කර ගැනීම සුදුසු වන බවත් අමාත්‍යාංශය දෙමව්පියන්ගෙන් ඉල්ලිමක් ද කර තිබේ.