රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළ බන්ධනාගාර නිලධාරීන් තිදෙනා රිමාන්ඩ්
April 28, 2026 04:55 pm
කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරවුලක් හේතුවෙන් රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනා මැයි මස 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මැගසින් බන්ධනාගාරයේ ජේරල්වරයෙකු සහ නියාමකවරු දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (28) අළුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 06 වෙනිදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියෝග මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන අංශය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු සහ නියාමකවරයෙකු අතර ඊයේ (27) පෙරවරුවේ ආරවුලක් හටගෙන ඇති අතර එහිදී ඔවුන් තිදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණි.
පොලීසිය සඳහන් කළේ, එලෙස රෝහල් ගත කෙරුණු එක් රැඳවියෙකු පසුව මියගොස් ඇති බවය.
මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 37 හැවිරිදි නවගම්පුර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

