Artemis II මෙහෙයුම - මීට පෙර කිසිදා නොදුටු දසුනක් ගැන තොරතුරු

Artemis II මෙහෙයුම - මීට පෙර කිසිදා නොදුටු දසුනක් ගැන තොරතුරු

April 5, 2026   02:41 pm

NASA ආයතනයේ  Artemis II මෙහෙයුමට එක්ව සිටින අභ්‍යවකාශගාමීන්, පෘථිවියට සඳෙහි නොපෙනෙන පැත්ත ප්‍රථම වරට සියැසින් දුටු ආකාරය පිළිබඳ විස්තර කර තිබේ.

නාසා අභ්‍යවකාශගාමීන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් මේ වන විට ඔරායන් යානයේ නැගී සිය මෙහෙයුමේ තෙවන දිනය පසු කරමින් සිටිති.

මෙම ඓතිහාසික ගමනේ අරමුණ වන්නේ සඳ වටා ගොස් නැවත ආරක්ෂිතව පෘථිවියට පැමිණීමයි.

සඳෙහි එම අසාමාන්‍ය දසුන දුටු ක්‍රිස්ටිනා කොක් පවසා සිටියේ, "අප දැක පුරුදු හඳට වඩා මොකක්දෝ වෙනසක් තිබෙනවා," යනුවෙනි.

මෙම මෙහෙයුමේදී ඔවුන් විසින් ලබාගන්නා ලද සඳෙහි 'ඔරියන්ටේල් ද්‍රෝණියේ' ඡායාරූපයක් ද යොමු කර තිබේ. 

නාසා ආයතනය සඳහන් කළේ සමස්ත ද්‍රෝණියම මිනිස් ඇසකින් සෘජුවම දුටු පළමු අවස්ථාව මෙය බවයි.

මෙය සඳ මත පිහිටි දැවැන්තම සහ හොඳින්ම ආරක්ෂා වී ඇති 'බහුවලයාකාර ආවාටයකි.

සෙනසුරාදා රාත්‍රී 11:00 වන විට (BST වේලාවෙන්), නාසා දත්ත පුවරුවලට අනුව ආටෙමිස් II යානය පෘථිවියේ සිට සැතපුම් 180,000කට (කිලෝමීටර 289,681) වඩා දුරින් ගමන් කරමින් තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.