සෞඛ්‍ය ඇමතිගෙන් GMOAට අභියෝගයක්

සෞඛ්‍ය ඇමතිගෙන් GMOAට අභියෝගයක්

April 4, 2026   12:56 pm

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට, පත්වීම් ලබාදීමේ ක්‍රමවේදයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භකළ වර්ජනය, සාකච්ඡා කිරීමට පදනමක් නොමැති වර්ජනයක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ හේතුවෙන් ගැටලු තිබෙනවා නම්, රෝගී ජීවිත ප්‍රාණ ඇපයට නොගෙන ප්‍රශ්නය අධිකරණය හරහා නිරාකරණය කරගන්නා ලෙස ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දන්වා සිටී.

'GMOA' විසින් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද (4) අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

"සාධාරණ හේතු මත නම් වර්ජනය, අපට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මේක සාකච්ඡා කරන්නවත් දෙයක් නැති පදනමක් නැති වර්ජනයක්. 

මමත් එක්ක තියෙන ප්‍රශ්නයකට ඔබ මට අභියෝග කරනවා නම්, හොඳම දේ රෝගී ජීවිත ප්‍රාණ ඇපයට නොගෙන ඔවුන් මේකෙන් අයින් කරන්න. 

සීමාවාසික පත්වීම් ලබාදීම නීති විරෝධී කියලා කියනවා නම් හොඳම දේ, මට විරුද්ධව අධිකරණයට යන්න. එවිට මම එක පැත්තක, ඔබ කණ්ඩායම තව පැත්තක. එවිට මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න පුළුවන්.
  
ඒ නිසා ඇමතිවරයා එක්ක තියෙන ප්‍රශ්නය ජනතාව පිටින් යවන්න එපා"
යැයි පැවසීය.

සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට ලබා දී ඇති කාලය අද (4) දහවල් 12ට අවසන්වීමට නියමිතව තිබූ අතර, එය කිසිසේත්ම දීර්ඝ නොකරන බව ඔහු මීට පෙරද අවධාරණය කර තිබුණි.

ඒ අනුව මින් ඉදිරියට ප්‍රමාදවී හෝ අයදුම් කළත් රජයේ රෝහලක සේවය නිරීම මෙන්ම වැටුප් ලැබීම නතරවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබුණි.