රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී - තවත් කැබිනට් තීරණය කිහිපයක්
March 31, 2026 03:09 pm
රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර, තිහගොඩ පිහිටි ඓතිහාසික මිදෙල්ලවල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
අද (31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, වෙසක් උත්සවයට සමගාමීව මැයි මස 27 වනදා සිට ජූනි මස 02 වනදා දක්වා කාලය "වෙසක් සතිය" ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවූ බවය.
============
මැතිඇමතිවරුන්ගේ සහ රජයේ නිලධාරීන්ගේ ඉන්ධන දීමනා ගැන තීරණයක්
අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන් සඳහා ලබාදෙන ඉන්ධන දීමනා 2026 මාර්තු මස 01 වන දින පැවති ඉන්ධන මිල ගණන් පදනම් කරගෙන ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
අද (31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මීට අමතරව අනෙකුත් සියලුම දීමනා ද නැවත දැනුම් දෙන තුරු එම අනුපාතයටම පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බවය.
පසුගිය කාලසීමාව තුළ මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මෙරට ඉන්ධන මිල ගණන් ද කිහිප වතාවක් සංශෝධනය විය.
======================
සම්බා සහ කීරි සම්බා හිඟයට පිළියමක් - සහල් ආනයනයට කැබිනට් අනුමැතිය
මෙරට වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟය මඟහරවා ගැනීම සඳහා පියවරක් ලෙස, ඊට සමාන සහල් වර්ග ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
අද (31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, පොන්නි සම්බා ඇතුළු ඒ හා සමාන සහල් වර්ග මෙරටට ගෙන්වීම සඳහා ආනයනකරුවන්ට අවසර පත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.
එක් ආනයනකරුවෙකුට සහල් මෙට්‍රික් ටොන් 1,040ක් දක්වා ආනයනය කිරීමට අවසර හිමිවේ.
