රන් භාණ්ඩ කොල්ලකා කාන්තාවන් පාළු ළිඳකට දැමීමේ සිද්ධියේ තවත් කරුණු හෙළිවෙයි
March 27, 2026 02:31 pm
කාන්තාවන් සතු රන් භාණ්ඩ කොල්ලකා ඔවුන්ව මඩකලපුව ප්‍රදේශයේ පාළු ළිඳකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කරුණු අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.
ඔවුන්ගෙන් හෙළිකරගත් කරුණුවලින් අනාවරණය වී ඇත්තේ, එම කාන්තාවන් පැහැරගෙනගොස් මත්කර ඇත්තේ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන නිර්වින්දන ඖෂධවලින් බවය.
ඒ අනුව මෙම කල්ලියට සම්බන්ධ 37 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකුද, නිර්වින්දනය සඳහා භාවිතා කරන ඉසින යන්ත්‍රයක් සමග ඊයේ (26) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් බ්‍රහස්පතින්දා (19) වවුනතිව් සිට මඩකලපුව නගරය බලාගිය තරුණ මවක් සහ වයස අවුරුදු දෙක හමාරක දරුවෙකු අතුරුදන්ව තිබුණි.
පසුදින තරුණ මව පාළු ළිඳකට දමා සිටියදී බේරාගත් අතර, ඇයගේ දරුවා අසල වෙල්යායක සිටියදී ඊට පසුදින (20) සොයාගන්නා ලදී. එහිදී එම ළිඳ තුළම තිබී කාන්තා මළ සිරුරක්ද හමු විය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී සොරකම් කරන ලද රන් භාණ්ඩ මිලදීගත් ස්වර්ණාභරණ සාප්පු හිමියන් දෙදෙනෙකුද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම ත්‍රීරෝද රථ 2ක්, මෝටර් රථයක්, පොරවක් සහ තියුණු ආයුධ සොයාගැනීමටද පොලීසියට හැකිව තිබේ.
