පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා උත්සව සමයේ විශේෂ වැටලීම්

පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා උත්සව සමයේ විශේෂ වැටලීම්

March 27, 2026   02:15 pm

එළැඹෙන උත්සව සමය අරමුණු කරගනිමින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ඒ අනුව පසුගිය මාර්තු 20 වැනි දින සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ මෙම විශේෂ වැටලීම් ක්‍රියාත්මක කර ඇති බවය.

මෙහිදී එළැඹෙන උත්සව සමය සහ මතුව ඇති වර්තමාන තත්ත්වය මත වෙළෙඳපොළ තුළ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කරමින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් දැනුවත් කර එම නිලධාරින් මේ වන විට අදාළ රාජකාරි සඳහා යොදවා ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙල යටතේ මේ දිනවල තොග ගබඩා, තොග රැස් කරන්නන්, ආනයනකරුවන්ගේ ගබඩා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කර ඇතැයිද ඔවුන් සතුව භාණ්ඩ තිබෙන ප්‍රමාණයන්, භාණ්ඩ සඟවා ගෙන තිබේද යන්න සම්බන්ධවද මෙහිදී වැඩි අවධානයක් යොමු කර කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව සිල්ලර වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීමේදි පාරිභෝගිකයින් අසාධාරණයට පත්වීම වැළැක්වීම සඳහා මිල ප්‍රදර්ශනය කිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් සොයා වැටලීම් වැනි ක්‍රියාවන් මේ වන විටත් ආරම්භ කර ඇති බව පැවසූ ඒ මහතා කල් ඉකුත් වූ සහ කල් ඉකුත්වීමට ආසන්න භාණ්ඩ නැවත වෙළෙඳපොළට නිකුත් කිරීම් වැළැක්වීම් මෙන්ම වට්ටම් ලබා දෙමින් භාණ්ඩ අලෙවි කිරීමේදී සූක්ෂම ලෙස පාරිභෝගිකයා රැවටීම් වැළැක්වීම සඳහාද අවධානයක් යොමු කරමින් වැටලීම් ක්‍රියාත්මක වන බවත් පැවසුවේය.

මැදපෙරදිග තත්ත්වය හමුවේ මෙරට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ පවතින භාණ්ඩ මිල වෙනස් කිරීමට ඇතැම් ව්‍යාපාරිකයින් පෙළඹීමට හැකි මේ වන විට නිරීක්ෂණය වී ඇතැයිද පැවසූ ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මෙම තත්ත්වය වැළැක්වීම සඳහාද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවය.