නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට
March 23, 2026 08:53 am
දිවයිනේ ප්රදේශ කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර තබා ගත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මහරගම, පමුණුව ප්රදේශයේදී බලපත්ර නොමැතිව පෙට්රල් ලීටර් 22ක් රැස්කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44ක් වන පමුණුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව නිට්ටඹුව, කම්මල්පිටිය පමුණුව ප්රදේශයේ සිල්ලරබඩු වෙළඳසැලක් තුළ තිබී බලපත්ර නොමැති පෙට්රල් ලීටර් 146ක් සොයා ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් වයස අවුරුදු 56 ක් වන පස්යාල ප්රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නිට්ටඹුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර නෝර්වුඩ්, වෙන්චර්වත්ත ප්රදේශයේ ද ඩීසල් ලීටර් 565ක් රැස්කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 53ක් වන නෝර්වුඩ් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මිනුවන්ගොඩ, කීනගහලන්ද ප්රදේශයේ නිවසක් තුළ තිබියදී ද පෙට්රල් ලීටර් 20ක් සොයා ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වයස අවුරුදු 53ක් වන මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මිනුවන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
