හැමෝටම ප්‍රශ්නය වූ QR ගැටලුව විසඳුණු හැටි 

හැමෝටම ප්‍රශ්නය වූ QR ගැටලුව විසඳුණු හැටි 

March 19, 2026   01:26 pm

කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ඉන්ධන කෝටාවට අදාළ QR කේතය ලබාගැනීම සඳහා වන වෙබ් පිටුවට සමාන වෙබ් පිටුවක් සකසා ජනතාවගේ තොරතුරු ලබාගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19)  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

"විශාල පිරිසක් හිටියා වාහන මාරු වෙච්ච, අපි ඒ දත්ත ටික අරගෙන ඒවා ඩිලිට් කළා. තවත් ප්‍රශ්නයක් තිබුණා, තමන් ළඟ වාහනය තියෙනවා. හැබැයි ජංගම දුරකථනය නැහැ. එහෙම නම්බර්ස් තිබුණා ලක්ෂ 12ක් විතර ඒ ටිකත් අපේ පද්ධතියෙන් මකන්න ඕන වුණා. එහෙම නැති වුණොත්, ඒ අයට QR එක ලබාගන්න බෑ. 

අද වෙනකොට ඔක්කෝම ලක්ෂ 55කට ආසන්න ප්‍රමාණයක් QR ලබාගෙන තිබෙනවා. ඊට පස්සේ අපි බැලුවා මේ බැරි වෙන පිරිස කවුද කියන එක. තමන් ගාව තියෙන වාහනයම තියෙනවා. හැබැයි QR එක ලබාගත්ත ජංගම දුරකථනය තමන් ගාව නැහැ. ඇත්තටම ලියාපදිංචි අයිතිකරු නම් ඒක සනාථ කරන්න පුළුවන් අවශ්‍ය දත්ත තියෙනවා නම් ඒ පිරිසට ඊයේ (18) රාත්‍රීයේ ඉඳන් පුළුවන් දැනට තමන් ළග තියෙන ජංගම දුරකථනය හරහා එන්ටර් වෙලා තමන් ළග තියෙන වාහනයේ දත්ත ඇතුළත් කරන්න. මේක අපි ඕවර්රයිට් කරලා නැවත ඔබේ නමට හරවනවා. 

ඔබ මේ වාහනයේ අයිතිකරුම ද කියන එක තහවුරු කරන්න ඕනේ කියන ප්‍රශ්නය ඇහෙනවා. ඒ වෙලාවේ මගේ වාහනයට තමයි QR එක ගන්නේ කියලා සඳහන් කරන්න ඕනේ. දැනට මේ ජංගම දුරකථනයට තමයි වාහනය ලියාපදිංචි කරලා තියෙන්නේ කියලා පෙන්වනවා. ඒකත් සනාථ කරන්න ඕනේ. ඒකත් සනාථ කළාම තමන්ට ලබාගත්ත බැරි වුණ QR කෝඩ් එක ලබාගන්න පුළුවන්. 

කවුරු හරි කෙනෙක් මේක අවභාවිත කරයි ද කියලා හිතන්න පුළුවන්. වෙනත් කෙනෙක්ගේ QR එක අවලංගු කරලා තමන්ගේ අතට ගත්තොත්, අනිවාර්යයෙන්ම පරිගණක නීති යටතේ දඬුවම් හිමිවෙනවා.

අපි දැක්කා දැනටමත් වෙබ් සයිට් පහක් හයක් මේ විදිහටම ජනතාවගේ දත්ත එකතු කරන්න එහෙමත් නැත්නම් වාහනවල චැසි අංක ගන්න ෆේක් වෙබ් සයිට් හැදිලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම ජනතාවගෙන් ඉල්ලනවා මේ වගේ තැන්වලට දත්ත දාන්න එපා. සමාජ මාධ්‍යවල තියෙනවා නම් QR එක ලබාගන්නේ මෙහෙම  කියලා ඒ තැන්වලට යන්න එපා. ඉතා පැහැදිලිව තමන් QR එක ගන්න යන වෙබ් පිටුව හරි ද කියන එක තහවුරු කරගෙන යන්න කියන ඉල්ලීම කරන්න ඕනේ."