ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අද
March 15, 2026 09:11 am
ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබේ.
“නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය” යන්න මෙම වසරේ ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයේ තේමාව වී ඇති අතර පාරිභෝගිකයාගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ වගකීම් පිළිබඳ සමාජ අවධානය යොමු කිරීම මෙම දිනයේ ප්‍රධාන අරමුණ වේ.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි විසින් 1962 වසරේ මාර්තු මස 15 වන දින පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ අදහස ලෝකයට හඳුන්වා දුන්නේය.
ඔහු අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතමින් පාරිභෝගිකයාට හිමි මූලික අයිතිවාසිකම් පිළිබඳව ප්‍රථම වරට නිල වශයෙන් අදහස් පළ කළ අතර පසුව 1983 වසරේ සිට ‘කන්සියුමර් ඉන්ටර්නැෂනල්‘ සංවිධානය විසින් මෙම දිනය ජාත්‍යන්තරව සැමරීමට කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක ප්‍රධාන නීතිය වන්නේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතයි.
මෙම පනත මගින් භාණ්ඩවල ගුණාත්මකභාවය, වගකීම් සහතික, මිල ප්‍රදර්ශනය කිරීම සහ අසාධාරණ වෙළඳ සිරිත් තහනම් කිරීම වැනි කරුණු නීතිමය වශයෙන් ආරක්ෂා කර ඇත.
ඒ අනුව භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමකින් ඔබ අගතියටපත්ව පත්වූ විට පාරිභෝගික අධිකාරියේ 1977 දුරකතන අංකයට හෝ පාරිභෝගික අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණිලි කිරීමේ හැකියාව පවතියි.
