මහනුවර අධිකරණයේ වත්මන් තත්ත්වය ගැන බලන්න ඇමති යයි
March 13, 2026 02:06 pm
'දිට්වා' ආපදා තත්ත්වයෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් බලපෑමට ලක් වූ මහනුවර අධිකරණයේ වර්තමාන තත්ත්වය සහ අලුත්වැඩියා කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඊයේ (12) පස්වරුවේ සිදුකළ මෙම නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහාධිකරණ විනිසුරුතුමා ඇතුළු විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක්ද අධිකරණ භූමියේදී පැවැත්විණි.
එහිදී මහනුවර අධිකරණ සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු මාස පහක් ඇතුළත අවසන් කිරීම, සම්පූර්ණයෙන්ම අක්‍රියව ඇති විදුලි සෝපාන යථා තත්ත්වයට පත් කිරීම, වායු සමීකරණ පද්ධති අලුත්වැඩියා කිරීම ඇතුළු යටිතල පහසුකම් සම්බන්ධ කරුණු පිළිබඳව අවධානය යොමු කර සාකච්ඡා කර තිබේ.
මෙම අවස්ථාවට තුෂාරී ජයසිංහ මහත්මිය ඇතුළු නීතිඥවරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ අධිකරණ කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.
