මෙරට භාරයට ගත් ඉරාන නාවිකයින් ගැන තීරණයක් ගැනීමට විශේෂ සාකච්ඡාවක්

මෙරට භාරයට ගත් ඉරාන නාවිකයින් ගැන තීරණයක් ගැනීමට විශේෂ සාකච්ඡාවක්

March 9, 2026   02:03 pm

ශ්‍රී ලංකා භාරයට ගත් ඉරාන නාවිකයින් පිරිස සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ බලධාරීන් සහ මෙරට ඉරාන තානාපති කාර්යාල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අද (09) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

‘අද දෙරණ’ කළ විමසීමකදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ, තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉරාන නාවිකයින් පිරිස සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවන ආකාරය පිළිබඳ තීරණය කරන බවය.

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වු IRIS Dena නෞකාවෙන් මුදාගත් නාවිකයින් 32 දෙනෙකු සහ IRIS Bushehr නෞකාවේ සිටි නාවිකයින් 204 දෙනෙකු මෙරට භාරයේ පසුවේ.

ඉරානය සහ අමෙරිකාව අතර හටගෙන ඇති යුදමය වාතාවරණය තුළ අදාළ ඉරාන නාවික පිරිස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් ගනුලබන තීන්දු තීරණ පිළිබඳව බෙහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ (08) අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ ඉරාන නාවිකයින් පිරිස සදහා මාසයක සහන වීසා බලපත්‍ර ලබාදී මානුෂීය පදනමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය පියවර ගන්නා බවය.

මෙරට භාරයේ පසුවන ඉරාන නාවිකයින් පිරිස සහ මියගිය ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ද මෙවැනි අදහසක් පළ කළේය.