අත්අඩංගුවේ පසුවන පිල්ලයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවයි
March 6, 2026 05:47 pm
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥවරයෙකුට ප්‍රවේශය ලබාදීමට ඇති හැකියාව සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2016 වසරේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව පිල්ලෙයාන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම අද ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ ගිහාන් කුලතුංග යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පිල්ලයාන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාව සම්බන්ධයෙන් තම සේවා දායකයාට එරෙහිව මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කොට ඔහු මේ වන විට අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙන බව සඳහන් කළේය.
කෙසේ වෙතත් සිය සේවාදායකයා මේ වන විට වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන තිබෙන බවත් මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔහුගෙන් උපදෙස් ලැබී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතාගෙන් විමසුවේ මෙම උපදෙස් ලබා ගැනීමේ කාර්යය සඳහා අත්අඩංගුවේ පසු වන තැනැත්තා සම්බන්ධ කර ගැනීම සඳහා ප්‍රවේශයක් සලසා දීමට හැකියාවක් තිබේ ද යන්නය.
ඒ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු ඒ සඳහා ඉල්ලීමක් කරන්නේ නම් එවැනි අවස්ථාවක් සලසා දීමට හැකියාව තිබෙන බවය.
ඒ අනුව අත්අඩංගුවේ පසුවන පෙත්සම්කරුගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා කටයුතු කරන ලෙස මෙහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව මෙම පෙත්සම විභාගය සඳහා ලබන ජූලි මස 28 වනදා කැඳවීමටද නියම විය.
