කොළඹ මහ නගර සභාවේ හිටපු මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රීවරියගේ පෙත්සම කැඳවීමට දින දෙයි
March 6, 2026 01:59 pm
කොළඹ මහ නගර සභා අයවැයේදී ආණ්ඩු පක්ෂයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ යැයි චෝදනා කරමින් සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගෙන තිබෙන තීරණය අත්විටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියක වන සොහාරා බුහාරි මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම අද (06) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස නියම කළේය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, මහලේකම් නිසාම් කාරියප්පර්, කොළඹ තේරීම් භාර නිලධාරි, ඇතුළු පිරිසක් නම් කර ඇත.
නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය සඳහන් කර ඇත්තේ කොළඹ මහ නගර සභා අයවැයේදී ආණ්ඩු පක්ෂයට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළේ යැයි චෝදනා කරමින් සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කළ බවය.
2025 වසරේ දෙසැම්බර් මස 31 වන දා ඉදිරිපත් කෙරුණු අදාළ අයවැය තුළ මහජන හිතවාදී සාධනීය යෝජනා රැසක් ඇතුළත්ව තිබූ බැවින් තමන් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවත් ඇය පෙන්වා දී තිබේ.
සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබූ බවත් ඇය සිය පෙත්සම මගින් සඳහන් කර ඇත.
කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඇය අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් ඉල්ලා සිටි.
ඊට අමතරව සිය මන්ත්‍රී ධුරය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් නිකුත් කළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරනතුරු තමන්ට අඛණ්ඩව කොළඹ මහ නගර සභා මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීමට අවසර දෙන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
