කුඩු සළිඳුගේ රුපියල් කෝටි 02ක දේපළ තහනම් වෙයි

කුඩු සළිඳුගේ රුපියල් කෝටි 02ක දේපළ තහනම් වෙයි

March 6, 2026   01:19 pm

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් පානදුර කුඩු සලිඳු නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 02කට ආසන්න දේපළ තහනම් කර තිබේ.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරනුයේ පානදුර - රත්නපුර මාර්ගයේ මහබෙලන හන්දියේ පිහිටි තහනමට ලක්කළ දේපළ අතර පර්චස් 40ක භූමි භාගයක පිහිටි නිවසක්, ගබඩා සංකීර්ණයක් සහ කඩ කාමරයක්ද පවතින බවය.

විදේශගතව සැඟව සිටියදී අත්අඩංගුව ගෙන මෙරටට රැගෙන ආ කුඩු  සළිඳු නැමැත්තා අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව හොර රහසේ නැවත විදේශ රටකට පලා ගොස් තිබුණි.

ඔහු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන්ම උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බව කියන දේපළ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වූ තොරතුරු අනුව මෙම දේපළ තහනමට ලක් කිරීමට එම කොට්ඨාසය පියවර ගෙන ඇත.

පසුගිය කාලය පුරා ඔහු විසින් සහ පානදුර කුඩු නිලංග යන දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වී පානදුර දකුණ, හිරණ හා පින්වත්ත පොලිස් බල ප්‍රදේශවලදී පුද්ගලයින් කිහිප දෙනෙකු වෙඩි ප්‍රහාරවලට ලක්ව ඝාතනයට ලක්වූ අතර කුඩු නිලංග නැමැත්තා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග එම ගැටුම් තරමක් පහව ගොස් තිබේ.

මේ වන විට කුඩු  සළිඳු නැමැත්තා විදෙස් රටක සැඟව ජීවත් වන අතර සිද්ධිය සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.