තැන තැන සිදුවන මාරක අනතුරු

තැන තැන සිදුවන මාරක අනතුරු

March 2, 2026   08:52 am

දිවයිනේ ප්‍රදේශ දෙකක දී සිදු වූ අනතුරුවලින් කාන්තාවකට හා පුද්ගලයෙකුට දිවි අහිමි වී තිබේ.

කළුබෝවිල - දෙහිවල මාර්ගයේ කළුබෝවිල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබේ.

දෙහිවල දෙසට පැමිණි යතුරුපැදියක් වෙනත් මාර්ගයකට හැරවීමට යාමේදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා සහ එක් යතුරුපැදියක පසුපැදිකරුවෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   

කොහුවල පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මැදවච්චිය - කැබිතිගොල්ලෑව මාර්ගයේ හීරල්ලුගම ප්‍රදේශයේදී හීරල්ලුගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් ද අනතුරක් සිදුව ඇත. 

අනතුරින් යතුරුපැදිකරුවෙකු, යතුරුපැදිකාරියක හා එම යතුරුපැදි දෙකේ පසුපැදිකරුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී ඔවුන් සිව්දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහල වෙත මාරු කර යවා ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදිකාරිය මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43 ක් වූ ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.   

ඇටවීරගොල්ලෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.