ඉරානයේ නැවතත් විරෝධතා
සයුරෙන් එතෙර

ඉරානයේ නැවතත් විරෝධතා

February 22, 2026   01:12 pm

ඉරානයේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් එක්ව රාජ්‍ය විරෝධී විරෝධතා පෙළපාළියක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

ඊයේ (21) මෙම විරෝධතා ආරම්භ වී ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා හී දැක්වෙනුයේ පසුගිය මාසයේදී ඉරාන බලධාරීන් විසින් සිදුකරන ලද මාරාන්තික මර්දනයෙන් පසු පැවැත්වෙන පළමු විරෝධතා පෙළපාලිය මෙය වන බවය.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ෂරීෆ් තාක්ෂණ විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී අදාළ විරෝධතා පෙළපාළි පවත්වා ඇති අතර පසුව මෙම පෙළපාළි සඳහා එරෙහිවූ රජයේ ආධාරකරුවන් අතර ගැටුමක්ද හටගෙන තිබේ.

මෑත කාලීනව හටගත් විරෝධතා හේතුවෙන් ඉරානයේ සිදුවූ මරණවලින් පසු 40වන දිනය සැමරීම සඳහා මෙම විරෝධතා පෙළපාළි ආරම්භ වී ඇති අතර, ඒ අනුව නව අධ්‍යයන වාරය ඊයේ දිනයේදී ආරම්භ වීමත් සමග මෙම විරෝධතාව ආරම්භ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

විරෝධතාකරුවන්ගේ ප්‍රධාන චෝදනාව වී ඇත්තේ ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ පාලනය වන අතර ඔවුන් ඉරාන උත්තරීතර නායකයා ඇතුළු ඔහුගේ පාලනයට එරෙහිව මෙම විරෝධතා පවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ආර්ථික ගැටළු හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේදී ඉරානයේ විරෝධතා රැල්ලක් ආරම්භ වූ අතර එය 1970 වසරේ ඉස්ලාමීය විප්ලවයෙන් පසු විශාලතම රාජ්‍ය විරෝධී ක්‍රියාමාර්ගයක් දක්වා වර්ධනය වූ බවද සඳහන් වේ.

ජනවාරි මාසයේදී ඇති වූ මෙම විරෝධතා මාලාවත් සමග රජයේ මර්දන ක්‍රියාමාර්ග හමුවේ එරට පුද්ගලයින් 6,100කට අධික පිරිසක් ජීවිතක්ෂයටද පත්විය.

එම පිරිස අතරට විරෝධතාකරුවන් 5,804ක්, ළමුන් 92ක් රජයට සම්බන්ධ පුද්ගලයින් 214ක්ද ඇතුළත් බවද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එක්සත් ජනපදය විසින් ඉරානයට එල්ල කරනු ලබන පීඩනය මැද මෙම නවතම විරෝධතා ආරම්භ වී ඇති බවය.

ඉරානය න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කරන බවට මින් පෙර එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් චෝදනා කළ අතර ඉරානය එම චෝදනා ද ප්‍රතික්ෂේප කර තිබුණි.