මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි
February 13, 2026 08:55 am
මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තැබූ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ හාචාර්ය තිස්ස විතාරණ මහතා අද (13) උදෑසන අභාවප්‍රාප්තවිය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්ත විය.
පාසල් සමය සහ උසස් අධ්‍යාපන කටයුතු
1934 අගෝස්තු 30 දින නුවරඑළියේදී උපන් උපාලි තිස්ස විතාරණ වෛද්‍ය ක්ෂේත්‍රයෙන් ගමන් ආරම්භ කළේය.
එන්. පී. මැගී පෙරේරා සහ පීරිස් විතාරණ අයගේ පුත්‍රයා වූ තිස්ස විතාරණ මහතා ප්‍රකට වාමාංශික දේශපාලනඥයෙකු වූ එන්. එම්. පෙරේරා බැනුවන්ද වෙයි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හැදැරූ තිස්ස විතාරණ මහතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
ඔහු මෙම පාසල් දෙකෙහිම ක්‍රිකට් කණ්ඩායම්ද නියෝජනය කර ඇත.
තිස්ස විතාරණ මහතා 1965 දී University of Ceylon වෙතින් සායනික වෛද්‍ය විද්‍යාවේ උපාධිය ලබාගත්තේය.
ඔහුගේ උසස් අධ්‍යාපන ගමන අරම්භ කරන්නේ, එක්සත් රාජධානියෙන්ය.
තිස්ස විතාරණ මහතා විසින් 1968 දී London School of Hygiene & Tropical Medicine වෙතින් බැක්ටීරියා විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබාගත්තේය.
තිස්ස විතාරණ මහතා වෛරස් විද්‍යාව පිළිබඳ සිය Ph.D. උපාධිය සම්පූර්ණ කරනු ලබන්නේ 1971 වසරේදීය. ඒ University of London වෙතින්ය.
1959–1967 කාලය තුළ ඔහු වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කළ අතර, 1963/64 වසරවලදී කොළඹ ජාතික රෝහලේ හි රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස කටයුතු කළේය.
වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ සේවය
1972 සිට 1994 දී ඔහු Medical Research Institute (MRI) වෙත එක්වී වෛරස් විද්‍යා අංශ ප්‍රධානියා ලෙස සුවිශේෂී මෙහෙවරක් ඉටුකළේය.
එමෙන්ම 1983 සිට 1994 දක්වා MRI හි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.
1980 දශකයේදී ඔහු Edinburgh City Hospital හි උපදේශක වෛරස් විද්‍යාඥයෙකු ලෙසත් 1991 සිට 1993 දී Victoria Infectious Diseases Reference Laboratory හි උප අධ්‍යක්ෂවරයා ලෙසත් සුවිශේෂී සේවය කළේය.
1994 දී විශ්‍රාමය ලැබූ ඔහු 1995 සිට 2000 දී University of Sri Jayewardenepura හි ක්ෂුද්‍ර ජීව විද්‍යා ප්‍රවීණ පුරෝගාමී පාඨමාලා ආචාර්යවරයෙකු ලෙසත් සහ 1994 සිට 2001 දී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේය.
දේශපාලන කටයුතු
1974 වසරේදී ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වෙමින් සිය දේශපාලන ගමන්මග ආරම්භ කළ ඔහු, පසුව එම පක්ෂයේ නායකත්වයටද පත් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව පිහිටුවා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) යටතේ 2004 වසරේදී ඔහු පළමු වරට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය.
2004–2015 කාලය තුළ ඔහු, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා, විද්‍යාත්මක කටයුතු ජ්‍යේෂ්ඨ අමාත්‍ය යන ධුර හොබවා තිබේ.
පර්යේෂණ ආයතන ශක්තිමත් කිරීම, නවෝත්පාදන ප්‍රවර්ධනය සහ තරුණ විද්‍යාඥයන්ට අවස්ථා සලසීම සඳහා තිස්ස විතාරණ මහතා, මහත් උත්සාහයක යෙදුණුහ.
2017 දී ඔහුට විද්‍යා ජ්‍යෝති (Vidya Jyothi) සම්මානය හිමි විය. 2019 දෙසැම්බර් 4 දා උතුරු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස පත් විය.
