තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩ ප්‍රමාණවත් නෑ
February 12, 2026 04:16 pm
තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩ පහසුකම් නොමැති වීම් හේතුවෙන් මෘත ශරීර මතට අයිස් දමා, එම මෘත ශරීර මෘත ශරීරාගාරය ඉදිරිපිටම ට්‍රොලිවල තැන්පත් කර කොරිඩෝවේ තැබීමට සිදුව තිබේ.
බෙලිඅත්ත, නාකුළුගමුව, රන්න, අඟුණකොළපැලැස්ස, වීරකැටිය ආදී ප්‍රාදේශීය සහ දිසා රෝහල්වලදී මියගිය පුද්ගලයන් මෙන්ම හදිසි අනතුරුවලින් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ රැගෙන එනු ලබන්නේ තංගල්ල මූලික රෝහලටය.
ඒ අනුව එම පරීක්ෂණ අවසන් වනතුරු එම සිරුරු තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරනු ලබයි.
කෙසේ නමුත් වසර 4ක් වැනි කාලයක සිට රෝහලට ප්‍රමාණවත් තරම් ශීතාගාර පහසුකම් නොමැතිවීම ගැටලුවක්ව තිබේ.
තංගල්ල මූලික රෝහලේ පැරණි මෘත ශරීරාගාරයේ එක්වර මෘත ශරීර 6ක් තැබිය හැකි ශිතාගාරයක් තිබී ඇති වුවත්, එය නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි මට්ටමටම මේ වනවිට අබලන්ව ඇත.
මේ හේතුවෙන් එම ශීතාගාරය දැනට ප්‍රයෝජනයක් ගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
නව මෘත ශරීරාගාරයේ දැනට ඇත්තේ එක්වර සිරුරු 2ක් පමණක් තැන්පත් කළ හැකි ශීතාගාරයක් වන අතර, එය ප්‍රමාණවත් නොවන බව කාර්යය මණ්ඩලය සඳහන් කරයි.
මේ හේතුවෙන් මෘත ශරීර තැන්පත් කර තැබීමට නොහැකි තත්ත්වයක් අද වනවිට උද්ගතව ඇත.
අද (12) පෙරවරුවේ මෙම මෘත ශරීරාගාරය මෘත ශරීරවලින් පිරී ගොස් තිබීම හේතුවෙන්, එම සිරුරු ට්‍රොලි මත තබා අයිස් දමා තිබීමට රෝහල් කාර්යය මණ්ඩලයට මෙලෙස සිදුව තිබිණි.
ඒ් අනුව අයිස් දැමූ මෘත ශරීර 3ක් මෘත ශරීරාගාරයෙන් පිටත කොරිඩෝවේද, තවත් මෘත ශරීරයක් ශීතාගාරයෙන් පිටත ට්රොලියකද තැබීමට සිදුවිය.
එමෙන්ම මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් ලවාම අයිස් ගෙන්වා තිබූ අතර, එම පුද්ගලයෝ ද මේ හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටියි.
මෘත ශරීරාගාරයේ ඉඩ පහසුකම් ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය බලධාරින් දැනුවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණද, ඉන් මෙතෙක් ඵලක් වී නොමැත.
