ජොන්ස්ටන්ට එරෙහි සතොස නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 6
February 12, 2026 03:19 pm
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 6 කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය.
ඒ අනුව අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
වෙනත් නඩුවක් සඳහා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර ඇත.
