මෙරට මුහුදු තීරයේදී ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව තවදුරටත් විමර්ශන

මෙරට මුහුදු තීරයේදී ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව තවදුරටත් විමර්ශන

February 7, 2026   05:04 pm

මෙරට මුහුදු තීරයේදී ධීවර යාත්‍රා දෙකකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව රජයක් ලෙස තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව ධීවර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රජා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් අද (07) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ සිදුකළ පහරදීම සම්බන්ධව සොයා බැලීම සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාවට මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයටද මෙම පහරදීම සම්බන්ධව සොයා බලන ලෙස අමාත්‍යාංශය දැන්වූ බවය.

මෙම පහරදීම සම්බන්ධව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කළ බවත් එහි සඳහන්ව ඇත්තේ මෙම පහරදීමට ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරලාරක්ෂක බළකාය සම්බන්ධ වි නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ සිදුවීම සම්බන්ධව තවදුරටත් කරුණු සොයා බැලීම සඳහා තවදුරටත් අමාත්‍යාංශය පියවර ගන්නා බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, 

"පහුගිය දවස්වල ලංකා මුහුදු තීරයේ අපේ ධීවර යාත්‍රා දෙකකට පහරදීමක් සිද්ධ කරලා තියෙනවා.. ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා අපේ ආසන්නම රටේ ඉන්දියාවේ වෙරළාරක්ෂක බළකායෙන් පහරදීමක් කළා කියලා. අපි මේ ගැන හොයලා බලන්න ඕනේ මොකද අපි රජයක්. ඒ නිසා අපි නාවික හමුදාවටයි, විදේශ කටයුතු අමාත්‍යාංශයටයි කියුවා මේ ගැන හොයලා දෙන්න කියලා. සොයා බැලුවා, පහරදීමේ ස්වභාවය බැලුවා, පොලීසිය පරීක්ෂණ පැවැත්වුවා ඉන්දියානු මහකොමසාරිස්තුමා කිව්වා නෑ ඉන්දියානු වෙරළාරක්ෂක බළකායවත්, ඉන්දියානු නාවික හමුදාවෙන් වත් නෙමෙයි මේ දේ සිද්ධ වුණේ කියලා. නමුත් රජයක් විදිහට, අමාත්‍යාංශයක් විදිහට තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. විමර්ශනය කරන්න බාර දීලා තියෙන්නේ විමර්ශනය කරලා අපිට අවශ්‍යයි මේ රටේ ධීවර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න. අපිට අවශ්‍යයි මේ සම්බන්ධව සොයලා බලලා නිවැරදි වාර්තාව ගන්න. මේක විදේශ රටකින්ද, අපේම අයද, වෙනත් කල්ලියක්ද, නිල කණ්ඩායමක්ද නොනිල කණ්ඩායමක්ද කියලා හොයලා බලනවා. ඒක තමයි අපි කරන්න ඕනේ"