සයුරෙන් එතෙර
පැය 4ක් පුරා මුහුදේ පිහිනා පවුල බේරාගත් වීර පුතෙක්
February 4, 2026 07:19 pm
මුහුදේ ගසාගෙන ගිය සිය මව, සහෝදරයා සහ සහෝදරිය බේරාගැනීමට උදව් ඉල්ලීම සඳහා පැය හතරකට වැඩි කාලයක් මුහුදේ පිහිනා ගොඩබිමට පැමිණි 13 හැවිරිදි වීර දරුවෙකු පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.
මෙම විස්මයජනක සිද්ධිය සිදුවී තිබුණේ පසුගිය සති අන්තයේදීය.
13 හැවිරිදි ඔස්ටින් ඇපල්බී නම් දරුවෙකු සිය මව, බාල සහෝදරයා සහ සහෝදරිය සමග ඉකුත් සිකුරාදා දහවල් ජියෝග්රැපී බොක්ක ආශ්‍රිතව පිහිටි ක්යින්ඩලුප් නගරයට ආසන්න වෙරළේ විනෝදය පිණිස බෝට්ටු පැදීමට ගොස් තිබේ.
එහිදී අනපේක්ෂිත ලෙස මුහුදේ සුළං තත්ත්වය සහ රළු බව වැඩිවීමත් සමග ඔවුන් ක්‍රමයෙන් මුහුද දෙසට ගසා ගෙන ගොස් ඇති අතර, ඔවුන්ට කිසිඳු අයුරකින් උපකාර ඉල්ලා සිටීමේ අවස්ථාවද අහිමි වී ඇත.
මෙවන් පසුබිමක පැය කිහිපයකට පසුව, සිය මව, සහෝදරයා සහ සහෝදරිය බේරාගැනීමට උදව් රැගෙන ඒමේ අරමුණින් කිලෝමීටර 4කට ආසන්න දුර ප්‍රමාණයක්, සන්ධ්‍යා අඳුර මැදින් පැය 4කට වැඩි කාලයක් පුරා පිහිනා ගොඩබිම වෙත පැමිණීමට ඔස්ටින් කටයුතු කර තිබේ.
එහිදී පළමු පැය 2 තුළ සිය ආරක්ෂිත කබාය සහිතව පිහිනමින් සිටි ඔස්ටින්, පසුව එය අපහසු බැවින් කබාය ඉවත් කර දමා ඉතිරි පැය 2 ධනාත්මක සිතුවිලි සහිතව පිහිනීමට කටයුතු කර ඇත.
ඒ අනුව ඔහු ඉතා වෙහෙසකර සහ අනාරක්ෂිත ගමනකින් පසුව ගොඩබිමට ළඟා වී, එහි තිබූ බෑගයෙන් සිය මවගේ දුරකථනය ගෙන හදිසි ඇමතුම් අංක අමතා උදව් ඉල්ලා තිබේ.
එම ඉල්ලීමට වහාම ක්‍රියාත්මක වූ සෝදිසි සහ මුදා ගැනීමේ පිරිස් කිහිපයක් බෝට්ටු සහ හෙලිකොප්ටරයක් ආධාරයෙන් දියත් කළ මෙහෙයුමකින් ගොඩබිම සිට කිලෝ මීටර 14ක් පමණ ඈත මුහුදේ රැඳී සිටි මව සහ දරු දෙදෙනා රාත්‍රී 8.30ට පමණ නිරුපද්‍රිතව බේරාගෙන ඇත.
මෙලෙස බේරාගනු ලැබුවේ 47 හැවිරිදි මව, දොලොස් හැවිරිදි පිරිමි දරුවෙකු සහ අට හැවිරිදි ගැහැණු දරුවෙක්ය.
ගොඩබිම වෙත පැමිණි ඔස්ටින් උදව් ඉල්ලා සිටීමෙන් පසුව ක්ලාන්ත වී ඇති අතර, පසුව ඔහුව රෝහල් ගත කිරීමට බලධාරීන් පියවර ගනු ලැබීය.
මව සහ අනෙකුත් දරු දෙදෙනාද පසුව රෝහල් ගත කෙරුණු අතර ඔවුන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔස්ටින් පවසා ඇත්තේ, ගොඩිබිමට ළඟාවූ මොහොතේ දී එය සිහිනයක් දැයි තමන්ට සිතුණු බවය.
ඔස්ටින්ගේ මෙම ක්‍රියාව වීර ක්‍රියාවක් ලෙස හඳන්වන බලධාරීන්, පුංචි ඔස්ටින්ව 'superhuman' කෙනෙක් ලෙස අද ලෝකයම හඳුන්වනු ලබයි.
