ඉන්දියාවට එරෙහි තරගය පාකිස්තානය වර්ජනය කිරීම ගැන අශ්වින්ගේ අනාවැකිය

ඉන්දියාවට එරෙහි තරගය පාකිස්තානය වර්ජනය කිරීම ගැන අශ්වින්ගේ අනාවැකිය

February 4, 2026   05:29 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දු - පාකිස්තාන තරගය අනිවාර්යයෙන්ම පැවැත්වෙනු ඇති බව ඉන්දීය හිටපු දඟපන්දු පුහුණුකරු රවිචන්ද්‍රන් අශ්වින් පවසයි.

මෙවර විස්සයි20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය ඉවත්කිරීමට විරෝධය පලකිරීමක් ලෙස එළැඹෙන 15 ​​වනදා ඉන්දියාවට එරෙහිව කොළඹදී පැවැත්වෙන මූලික වටයේ තරගය ක්‍රීඩා කිරීමට අවසර නොදීමට පාකිස්තාන රජය තීරණය කළේය.

කෙසේ නමුත් එම තීරණය නැවත සලකාබලන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට පවසා ඇති බව සඳහන්.

එහෙත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය තීරණය පිළිබඳ මේ දක්වා ICCය වෙත නිල දැනුම්දීමක් සිදුකර නොමැති බව වාර්තා වේ. ඒ හේතුවෙන් අවසන් තීරණය තවමත් අපැහැදිලිය. 

එවන් තත්ත්වයක ඉන්දියාවේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් විශ්වාස කරන්නේ, තරගය වඩාත් උද්වේගකාරී මට්ටමක පවතින තරගයක් බැවින් එම තරගය අනිවර්යයෙන්ම පැවැත්වෙනු ඇති බවය.

යම් හෙයකින් පාකිස්තානය මෙම තරගය ක්‍රීඩා නොකළහොත් ඔවුන්ගේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන, පාකිස්තානු සුපර් ලීගයට (PSL) ක්‍රීඩා කිරීමට විදෙස්  ක්‍රීඩකයින්ට අවසර නොලැබෙනු ඇති බවට ඔහු අනතුරු අඟවා ඇත.

"ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය 100%ක්ම පැවැත්වෙනු ඇත. ඉදිරි දින 3-4 තුළ පාකිස්තානය සිය තීරණය අවලංගු කරනු ඇත.

ඉන්දියා - පාකිස්තාන තරගය පැවැත්වෙන දැකීමට මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ. ඒ වගේම මේකේ ව්‍යාපාරික තීරණ ගොඩක් තියෙනවා. 

පාකිස්තානය සිය තීරණය වෙනස් නොකළොත් ඔවුන්ට මූල්‍යමය පාඩුවක් ඇතිවිය හැකිය. ඒ වාගේම ඔවුන්ට විකාශකයින්ට සිදුවූ පාඩුව ආපසු ගෙවීමට සිදුවනු ඇත. ඒ නිසා මම හිතන්නේ ඔවුන්ට සම්මුතියකට පැමිණීමට සිදුවනු ඇත" යනුවෙන් අශ්වින් පවසයි.