78 වැනි නිදහසට බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් සුබ පැතුම්
February 4, 2026 10:35 am
ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනය අද (04) සමරනු ලබන අවස්ථාවේදී, බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලාංකික ජනතාවට විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.
කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත්කළ ලිපියකින්, තුන්වැනි චාල්ස් රජු ශ්‍රී ලංකාවට සිය “උණුසුම්ම සුබ පැතුම්” පිරිනමමින්, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින “දිගුකාලීන හවුල්කාරිත්වය” සහ “ගැඹුරු ඉතිහාසමය බැඳීම්” පිළිබඳවද අවධාරණය කර ඇත.
එක්සත් රාජධානියේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සිදුකරන වැදගත් දායකත්වයද ඔහු මෙහිදී ප්‍රශංසා කර ඇත.
අධ්‍යාපනය, වෙළඳාම සහ අනෙකුත් ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සහයෝගීතාවද ඉස්මතු කර තිබේ.
මේ අතර, බහරේන් රාජ්‍යයේ මහරජු හමාද් බින් ඉසා අල් කලීෆා මහරජුද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇති බව වාර්තා වෙයි.
