කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ රුමේනියා රජය අතර අවබෝධතා ගිවිසුමක්

කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ රුමේනියා රජය අතර අවබෝධතා ගිවිසුමක්

January 27, 2026   02:00 pm

ශ්‍රී ලංකාව සහ රුමේනියානු රජය අතර කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගීතාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්අන් කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ශ්‍රමික බඳවා ගැනීම් සහ කළමනාකරණය සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, සදාචාරාත්මක සහ විනිවිදභාවයෙන් යුතු බඳවා ගැනීම් පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් හා සුබසාධනය ආරක්ෂා කිරීම, දෙරටේ නිසි බලධාරීන් අතර නිරන්තර සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම සහ කම්කරු ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාව, කුසලතා පිළිගැනීම සහ ධාරිතා වර්ධනය වැඩිදියුණු කිරීම වැනි කරුණු මෙහි අරමුණු වේ.

දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව සමග විවිධ ක්ෂේත්‍රවලට අදාළ දිගුකාලීන හා සුහද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන රුමේනියාව ඉදිකිරීම්, නිෂ්පාදන, ආගන්තුක සත්කාර හා සේවා වැනි ක්ෂේත්‍රවල කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමික කාණ්ඩ අතර ප්‍රචලිත වෙමින් පවතින ගමනාන්තයක් වේ.

වර්තමානයේදී රුමේනියාට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධීක්ෂණය යටතේ බලපත්‍රලාභී පෞද්ගලික රැකියා නියෝජිතායතන මගින් සිදු කෙරෙනු ලබයි.

කෙසේ වුවවත් ඉහළ යන ශ්‍රමික ඉල්ලුම හේතුවෙන් වඩාත් සංවිධානාත්මක හා තිරසර බඳවා ගැනීම් ක්‍රමයක් ස්ථාපති කිරීම යෝග්‍ය බව දෙපාර්ශ්වය විසින් හඳුනාගෙන ඇති බැවින් ඉහත අරමුණු සහිතව ශ්‍රී ලංකා රජය සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.