අමෙරිකාවේ ප්‍රබල හිම කුණාටුව හේතුවෙන් ප්‍රාන්ත 21කට හදිසි තත්ත්වයක්
සයුරෙන් එතෙර

අමෙරිකාවේ ප්‍රබල හිම කුණාටුව හේතුවෙන් ප්‍රාන්ත 21කට හදිසි තත්ත්වයක්

January 25, 2026   10:53 am

අමෙරිකා එක්සත් ජනපදයේ ඇතිව ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන විට එරට ගුවන් ගමන් අවලංගු කිරීම්, පාසල් වසා දැමීම් සහ විදුලි ඇනහිටීම් දහස් ගණනින් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජනපද බලධාරීන් අපේක්ෂා කර ඇත්තේ මෙම සුළි කුණාටු තත්ත්වය අමෙරිකානුවන් මිලියන 200කට අධික පිරිසකට මුහුණ දෙනු ඇති බවත්ය.

කුණාටුව එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශ හරහා හමා යනු ඇතැයි අපේක්ෂා කරන අතර එය එරට නැගෙනහිර ප්‍රදේශ කරා ගමන් කිරීමේදී ප්‍රභල විය හැකි බවද එරට කාලගුණ සේවය සඳහන් කර තිබේ.

මේ අතර පවතින තත්ත්වය මත එරට ප්‍රාන්ත 10කට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබූ අතර නමුත් පවතින තත්ත්වයන් මත එය ප්‍රාන්ත 21ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ප්‍රාන්ත 21ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇති අතර හදිසි අවස්ථාවන් හිදි මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය ඇතැම් ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඇති බවත් සඳහන් වේ.

මේ අතර සැතපුම් 2,300ක් පුරා විහිදෙන මෙම ශීත කුණාටුව මේ වන විට නැගෙනහිරට ළඟා වෙමින් පවතින බවද වාර්තා වන අතර පසුගිය පැය 12 තුළ ප්‍රාන්ත 6කට අධික ප්‍රමාණයකට හිම කැටි වැසි ඇද හැලී තිබේ.

කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන විට එක්සත් ජනපදයේ ගුවන් ගමන් 15,000කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇතැයිද තවත් ගුවන් ගමන් 8,700කට අධික ප්‍රමාණයක් ප්‍රමාද වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

එමෙන්ම සුළි කුණාටුවත් සමග මේ වන විට අමෙරිකාවේ ප්‍රාන්ත රැසක විදුලි ඇන හිටීම්ද වාර්තා වී ඇති අතර එම ඇනහිටීම් 50,000කට අධික බවත් වාර්තා වේ.