සයුරෙන් එතෙර
අමෙරිකාවේ වෙඩි තැබීමක්
January 25, 2026 08:29 am
අමෙරිකාවේ ෆෙඩරල් සංක්‍රමණ නිලධාරීන් විසින් මිනියාපොලිස් නුවරදී එල්ල කරන ලද වෙඩි තැබීමකින් සිවිල් වැසියෙකු මියගොස් ඇති අතර, එම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ දැඩි විරෝධතා මතු වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රාදේශීය රෝහලක හෙද නිලධාරියෙකු ලෙස සේවය කළ ඇලෙක්ස් ප්‍රෙට්ටි නමැති 37හැවිරිදි පුද්ගලයෙකි.
එරට බලධාරීන් පවසන්නේ ඔහු සතුව ගිනි අවියක් තිබූ බවත්, නියෝජිතයන්ගේ රාජකාරියට බාධා කරමින් පහර දීමට උත්සාහ කළ නිසා ස්වයං ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබූ බවත්ය.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝ දර්ශන මගින් එම ප්‍රකාශය අභියෝගයට ලක්ව ඇත.
එම දර්ශනවල දැක්වෙන්නේ මියගිය පුද්ගලයා විරෝධතාවය අතරතුර සිය ජංගම දුරකථනයෙන් දර්ශන පටිගත කරමින් සිටියදී ආරක්ෂක නියෝජිතයන් ඔහුට පහර දී වෙඩි තබන අයුරුය.
මිනියාපොලිස් පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ මියගිය පුද්ගලයා නීත්‍යානුකූලව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමට අවසර ඇති, අපරාධ වාර්තා නොමැති අයෙකු බවය.
මෙම සිදුවීමත් සමඟ මිනසෝටා ආණ්ඩුකාර ටිම් වෝල්ස් ඇතුළු ප්‍රාදේශීය නායකයන් ෆෙඩරල් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර ඇත.
කෙසේවෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම විරෝධතා සම්බන්ධයෙන් ප්‍රාදේශීය නායකයන්ට චෝදනා කරමින් කියා සිටියේ ඔවුන් ජනතාව කැරලි ගැසීමට පොළඹවන බවය.
පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් නගරයේ ආරක්ෂාව සඳහා ජාතික ආරක්ෂක බලකාය (National Guard) කැඳවා ඇති අතර, ප්‍රධාන ක්‍රීඩා තරග සහ පොදු ස්ථාන කිහිපයක් ද තාවකාලිකව වසා දමා තිබේ.
