අමෙරිකාව ලොව පුරා රටවල් 75කට සංක්‍රමණික වීසා අත්හිටවූ හේතුව 

අමෙරිකාව ලොව පුරා රටවල් 75කට සංක්‍රමණික වීසා අත්හිටවූ හේතුව 

January 16, 2026   01:43 pm

ලොව පුරා රටවල් 75ක පුරවැසියන්ට අමෙරිකානු සංක්‍රමණික වීසා නිකුත් කිරීම අත්හිටුවීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම අත්හිටුවීම එළැඹෙන ජනවාරි 21 වැනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව ඊයේ (15) නිවේදනය කර තිබුණි.

එම රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් අමෙරිකානු ජනතාවගේ වියදමින් සුබසාධනය ලබන බවත්, නව සංක්‍රමණිකයන් එසේ නොවන බවට තහවුරු කරගන්නා තුරු මෙලෙස වීසා නිකුත් කිරීම අත්හිටුවන බවත් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ "X" පණිවුඩයක සඳහන් වේ.

මෙම නව නීතිය ක්‍රියාත්මක වන රටවල් අතරට රුසියාව, ඇෆ්ගනිස්තානය, ඉරානය, බ්‍රසීලය, ඉරාකය, තායිලන්තය, සෝමාලියාව, හයිටි රාජ්‍ය, බංගලාදේශය, නේපාලය සහ පාකිස්තානය ද අයත්ය.

මේ අතර රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සඳුදා නිකුත් කළ නිවේදනයක සඳහන් වුණේ පසුගිය වසර තුළ අමෙරිකාව විදෙස් ජාතිකයින් වෙත නිකුත් කළ වීසා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බවය.