එකිනෙකට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනගමු -සජිත්

එකිනෙකට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනගමු -සජිත්

January 15, 2026   07:11 am

පාසල, දහම් පාසල, පන්සල, කෝවිල, පල්ලිය, දේවස්ථානය මූලික ඒ ඒ ආගමිකයන්ට ආවේණික සංස්කෘතික හා ආගමික අවස්ථාවන් පිළිබඳව විධිමත් දැනුමක් ලබාදීමට නොපමාව පියවර ගැනීම තුළින් එකිනෙකාට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක් නිර්මාණය කිරීමට අපට හැකියාව ලැබෙන බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අදට යෙදී තිබෙන තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ඒ මහතා පවසා ඇත්තේ, බහු ජාතික, බහු ආගමික සහ බහු භාෂාමය සමාජයක පැවැත්ම තහවුරු වන්නේ ඒ ඒ ජාතීන්ගේ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කිරීමට සියලුදෙනාම දක්වන කැපවීම මත බවය.

එමෙන්ම ඒ ඒ සංස්කෘතීන්ගේ හර පද්ධතින් නිවැරදිව කියවා ගනිමින් කටයුතු කිරීම තුළ  බවද සඳහන් කර සජිත් ප්‍රේමදාස මහතා, හින්දු බැතිමතුන් ඉමහත් සතුටින් සමරන තෛපොංගල් උත්සවය අපට කියා දෙන පාඩම මැනවින් හඳුනා ගතහොත් එය අපගේ ජීවිතවලට ඉමහත් රුකුලක් වනු ඇති බවද සඳහන් කර තිබේ.

කෘතවේදීත්වය පිළිබඳව තෛපොංගල් උත්සවය අපට පසක් කරනුයේ සොබාදහමට, සතා සීපාවට පවා අපගේ ආදරය කරුණාව ගෞරවය හිමි විය යුතු බව ද අවධාරණය කරන සජිත් ප්‍රේමදාස මහතා, වර්තමාන ලෝකයේ අප මුහුණ දී ඇති ස්වාභාවික ව්‍යසන ගැටුම් සියල්ලට හේතුව සොබාදහම සහ මිනිස් සිත බරපතළ ලෙස විකෘති වීමක් බවද පෙන්වා දී ඇත. 

තෛපොංගල් සැමරුමේ දී අප සිහිපත් කළ යුත්තේත් අවබෝධ කරගත යුත්තේත් එම උත්සවයේ විවිධ අවස්ථාවන්හි දී සමරනු ලබන සංස්කෘතික අංගයන්ගේ යටි පෙළ අරුත බවත් මේ මොහොතේ අපගේ වගකීම වන්නේ එම දැක්ම හා දර්ශනය සමාජයට ලබා දීමේ මාර්ග හැකිතාක් දුරට පුළුල් කිරීම බවද අවධාරණය කරන සජිත් ප්‍රේමදාස මහතා තෛපොංගල් සැමරුමේ සැබෑ අරුත වටහා ගනිමින් මේ සංස්කෘතික මංගල්‍යය සැමරීමට සියලු දෙනාට හැකි වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන බවද පවසයි.