අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්
January 13, 2026 03:00 pm
අධ්‍යාපනය හුදු දේශපාලන ප්‍රශ්නයක් බවට පත් නොකර, ජාතියේ අනාගතය පිළිබඳ ජාතික වගකීමක් ලෙස සලකා, ධනාත්මක ප්‍රවේශයකින් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා එකමුතුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ සාධනීය විවේචන, යෝජනා සහ වෘත්තීය දායකත්වය මඟින්, මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සිය සංගමය සූදානමින් සිටින බවය.
එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවිධ වැරදි මත ප්‍රචාරය වන පසුබිමක් තුළ මේ පිළිබඳ අනියත බියක් හෝ සැකයක් ජනතාව විසින් ඇති කර ගත යුතු නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එරෙහිව එල්ල වෙමින් පවතින ප්‍රතිවිරෝධතා විශ්ලේෂණය කිරීමේදී, ඒවායේ සැලකිය යුතු කොටසක් වෘත්තීය හෝ විද්‍යාත්මක කරුණු මත නොව, හුදු දේශපාලනික අරමුණු සහ කෙටි කාලීන ජනප්‍රියත්වය ඉලක්ක කරගත් ප්‍රවේශයන් මත පදනම්ව වී ඇති බව පෙනී යන බවද එම සංගමය සඳහන් කර සිටී.
ඒ අනුව ඔවුන් පවසන්නේ මෙවන් ප්‍රවණතාවක් අධ්‍යාපනයට පමණක් නොව, සමස්ත ජාතියේ අනාගතයටම බරපතල හානියක් සිදු කළ හැකි බවය.
මෙලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දේශපාලන සටන් භූමියක් බවට පත් කිරීමෙන් අසාධාරණය සිදු වන්නේ පක්ෂවලට නොව, රටේ දරුවන්ට සහ අනාගත පරපුරට බව සියලු පාර්ශ්වයන් වගකීමෙන් අවබෝධ කරගත යුතු බවද එම නිවේදනයේ දැක්වේ.
එබැවින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගන්නා තීරණ සම්පූර්ණයෙන්ම දරුවන්ගේ අනාගතය හා රටේ දිගුකාලීන සංවර්ධනය ඉලක්ක කර ගත යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
ලෝකයේ පිළිගත් අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුව, විෂයමාලාව සහ ඉගැන්වීමේ ක්‍රමවේද වසර අටකට වරක්වත් යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස සලකනු ලබන බවද මෙහිදී එම සංගමය පෙන්වා දී ඇත.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ විද්‍යාත්මක දියුණුව, තාක්ෂණික පරිවර්තන, ශ්‍රම වෙළඳපොළේ අවශ්‍යතා සහ සමාජයීය අභියෝග ඉතා වේගයෙන් වෙනස් වන යුගයක, දශක ගණනාවක් පුරා පැරණි විෂයමාලා පවත්වාගෙන යාම, දරුවන්ට අනාගතයට අදාළ දැනුම, ආකල්ප හා කුසලතා ලබාදීමේදී බරපතල බාධාවක් බවට පත්ව ඇති බවය.
ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ, වසර දහයකටත් වඩා දිගු කාලයක් තිස්සේ අධ්‍යාපන විෂයමාලා පද්ධතිය ප්‍රමාණවත් ලෙස යාවත්කාලීන නොවීම, අද වන විට දැඩි ගැටලු රැසකට හේතු වී ඇති අතර දරුවන්ගේ තාර්කික චින්තනය, නිර්මාණ ශීලීත්වය, ගැටලු විසඳීමේ හැකියාව සහ කුසලතා සංවර්ධනය කිරීමේදී පවතින දුර්වලතා, මේ සඳහා ප්‍රධාන සාධක ලෙස දැක්විය හැකි බවද එහි සඳහන්.
මෙවන් පසුබිමක, ආරම්භ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, තවදුරටත් සංවර්ධනය කළ යුතු සහ සමාලෝචනයට ලක් කළ යුතු ක්‍රියාවලියක් වුව ද, එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතු හෝ නවතා දැමිය යුතු ක්‍රියාවලියක් ලෙස නොව, වෘත්තීය අදහස් හා ක්ෂේත්‍ර පළපුරුද්ද එක් කරමින් ගතික (dynamic) ක්‍රියාවලියක් ලෙස ඉදිරියට පවත්වාගෙන යා යුතු ජාතික වගකීමක් ලෙස ද එම නිවේදනයේ දැක්වේ.
