රමිත් රඹුක්වැල්ලගේ නඩුව කැඳවීමට දින දෙයි

රමිත් රඹුක්වැල්ලගේ නඩුව කැඳවීමට දින දෙයි

January 13, 2026   11:30 am

නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව ගොනුකර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 11 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (13)  නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුකරයට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට භාරදුන්නේය.

ඉන් අනතුරුව එම ලේඛනවල පිටපත් විත්ති පාර්ශ්වයට ලබා දෙන ලෙස විනිසුරුවරයා නියම කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඉදිරි දින අවසන් කළ යුතු බව පාර්ශ්වයන්ට දැනුම් දුන්නේය.

ඒ අනුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව පෙබරවාරි 11 වනදා යළි කැඳවන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කළේය.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා අතර කාලසීමාව තුළ  හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබේ.