රජය සතු බංගලා නිවාස ඵලදායීව උපයෝජනයට ආයෝජන යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රජය සතු බංගලා නිවාස ඵලදායීව උපයෝජනයට ආයෝජන යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

January 6, 2026   02:43 pm

රජය සතු බංගලා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පූර්වගාමී අමාත්‍යවරුන් විසින් නිල නිවාස ලෙස භාවිත කරනු ලැබූ බංගලා නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන්ම, රජය සතු ඌන උපයෝජනයක් සහිත නිවාස හා පරිශ්‍ර ආර්ථිකමය වශයෙන් ඵලදායීව භාවිත කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනාගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024 දෙසැම්බර් 09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණි.

එම නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවට අනුව, එම බංගලා නිවාස තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍යතාන්ත්‍රික භාවිතයන්, රජයේ හා රජයට අනුබද්ධිත ආයතන මෙන්ම High-end Restaurant හා Boutique Hotel ඇතුළු වඩාත් ඵලදායී ආයෝජන ව්‍යාපෘති සඳහා උපයෝජනය කළ හැකි බව නිර්දේශ කර ඇත.

ඒ අනුව, මූලික ව හඳුනාගෙන ඇති බංගලා නිවාස 24ක්, ඒවා පිහිටා ඇති ස්ථාන අනුව සමාජීය වශයෙන් ගැටලුවක් නොවන ආකාරයට, රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතිය යටතේ වසර 30ක කාලයක් සඳහා බදු පදනමින් ලබාදීම තුළින් ඵලදායීව උපයෝජනය කිරීමට සැලසුම් කර ඇත.

එමඟින් යෝග්‍ය ආයෝජකයින් හඳුනාගැනීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමට, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.