අණ නොතැකූ බීමත් රියදුරා පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කරයි
January 1, 2026 11:43 am
නව වසර උදාව නිමිත්තෙන් රාජකාරියේ නිරතව සිටි අම්බලන්තොට පොලීසියේ නිලධාරියෙකු රිය අනතුරකට ලක්ව මියගොස් තිබේ.
අණ නොතකා ධාවනය වූ බිමත් රියදුරෙකුගේ මෝටර් රථයකට යටවීමෙන් අද (01) අලුයම මෙම පොලිස් නිලධාරියා මියගොස් ඇත.
අද අලුයම 2.30 ට පමණ අම්බලන්තොට වලවේ ගඟ පාලම අසල මාර්ග බාධකයේදී මෙම අනතුර සිදුව තිබේ.
අම්බලන්තොට දෙසට ධාවනය වූ මෝටර් රථයක් නතර කිරීමට අණ කළද, එය නොනවත්වා පොලිස් නිලධාරීන් වෙතට ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.
මියගිය නිලධාරිවරයා, පොලිස් කොස්තාපල් (82615) එම්. සරත් කුමාර මහතා සූරියවැව, වීරියගම පදිංචි දෙදරු පියෙකි.
ඔහු ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලැබ සිට ඇති අතර, අනිද්දාට (03) අම්බලන්තොටින් පිටත්ව යාමට නියමිතව තිබූ බව සඳහන් වේ.
ඒ වෙනුවෙන් ඔහුට සමුදීමේ උත්සවය ද අද (01) දින පැවැත්වීමට නියමිතව තිබිය දී මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අනතුරින් රාජකාරියේ නිරතව සිටි ග්රාමාරක්ෂක නිලධාරියෙකු ද තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත්කර සිටියි.
පලාගිය මෝටර් රථය අම්බලන්තොට නගරයට ආසන්න ප්රදේශයක තිබී සොයාගෙන ඇති අතර රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු පුද්ගලයන් දෙදෙනාම මේ වන විට අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනාම අධික ලෙස බීමත්ව සිටි බව හෙළි වී ඇත.
අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
