2025 අවසානයේ ඇති දේශපාලන නිහැඬියාව 2026ට අභියෝගයක්ද ?
December 26, 2025 02:22 pm
ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සිදුවූ මෙම වසර අවසානයේදී දේශපාලන ක්ෂේත්රය තුළ පවතින දැඩි නිහඬතාවය දේශපාලන විචාරකයින්ගේ දැඩි අවධානයට ලක්වී තිබේ.
විශේෂයෙන්ම මෑතකදී සිදුවූ දිට්වා සුළි කුණාටුවෙන් පසුව දේශපාලනඥයින් බොහෝ පිරිසක් ජනතාවට සහන සැලසීමේ කටයුතු සමග සම්බන්ධවී සිටීම මෙම තත්ත්වයට හේතුව බව දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත.
සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව ජාතික තලයේ දේශපාලනඥයින් මෙන්ම ප්රාදේශීය දේශපාලනඥයින් ද අදාළ ප්රදේශ තුළ මේ වනවිටත් ආපදා සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී.
සුළි කුණාටුවේ බලපෑමට ලක් නොවූ ප්රදේශවල දේශපාලනඥයින් බලපෑමට ලක්වූ ප්රදේශවෙත ගොස් එම සහන කටයුතු සමග සම්බන්ධවෙමින් සිටින අතර මෙම තත්ත්වය තුළ ජාතික දේශපාලනය නිසොල්මනේ ගමන් කරන ආකාරයක් පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයින් සඳහන් කළේය.
පසුගිය වසර අවසානයේ ඇතැම් දේශපාලනඥයින් විදෙස් රටවල සංචාර සඳහා එක්වුවද මෙම වසරේදී එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් එළැඹෙන 2026 වසර ජාතික දේශපාලනයට මෙන්ම ප්රාදේශීය දේශපාලනයට ද සුවිශේෂී වසරක් වනු ඇත.
ඊට හේතුවී ඇත්තේ දිට්වා සුළි කුණාටුවෙන් පසුව රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට සියලු දේශපාලනඥයින් එකාවන්ව කටයුතු කිරීමට සිදුවීමය.
එමෙන්ම මාලිමාවට බලය හිමි නගර සභා, මහ නගර සභා මෙන්ම ප්රාදේශීය සභාවලද අයවැය පරාදවීම හමුවේ එම සභාවල බලය පවත්වාගෙන යෑමට ප්රාදේශීය දේශපාලනඥයින්ට විශාල කැප කිරීමක් කිරීමට සිදුවී ඇති බවද දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.
එමෙන්ම දිගින් දිගටම කල්දැමුණු පළාත් සභා මැතිවරණය ලබන වසරේ පවත්වන බවට ප්රකාශ කෙරුණ ද මේ වනවිට එය පැවැත්වීම සම්බන්ධයෙන්ද අවිනිශ්චිත තත්ත්වයක් මතුවී තිබේ.
මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය කටයුතු සිදුනොවීම මීට එක් හේතුවක් වී ඇත.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සන්ධානගත වෙමින් ආණ්ඩුවට අභියෝගයක් වන ආකාරයෙන් කටයුතු කිරීම 2026 වසර තුළ සිදුවනු ඇති බවද දේශපාලන විචාරකයින් තවදුරටත් පෙන්වා දෙයි.
