ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා මෙරටට ලබා ගැනීමට සාකච්ඡාවක්
December 23, 2025 01:40 pm
ඊශ්‍රායල ජනගහන හා ආගමන අධිකාරියේ බලධාරීන් සමග ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් වන ප්‍රථම තාක්ෂණික ඇගයීම් හා ප්‍රගති සමාලෝචන ඒකාබද්ධ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (22) පවත්වා තිබේ.
ඒ මේ දිනවල ඊශ්‍රායලයේ සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ එම අධිකාරියේ බලධාරීන් අතරය.
මෙම සාකච්ඡාවේදී දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නිවාස පාදක සාත්තු සේවා, කෘෂිකර්ම, ඉදිකිරීම්, හෝටල් ගෘහපාලනය හා පිරිසිදු කිරීම් සේවා, නිෂ්පාදන හා අවන්හල් ආශ්රිත රැකියාවල පවතින ගැටලු හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් හා එම ගැටලුවලට වගකිවයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පසුගිය ප්‍රගති සමාලෝචනයට ලක් කෙරිණි.
මීට අමතරව ඊශ්‍රායලයේ පවතින නව රැකියා අවස්ථා මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා එම බලධාරීන් සමග සාකච්ඡා කර ඇති අතර ඉදිරි වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවට ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කරන තිබේ.
එහිදී ශ්‍රි ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සහ ඊශ්‍රායලයේ ජනගහන හා ආගමන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් සහ විදේශ සේවක පරිපාලන ප්‍රධානී මොෂේ නකාෂ් ගිවිසුමට අත්සන් තබා ඇත.
මෙම අවස්ථාවට ඊශ්‍රායල් ජනගහන හා ආගමන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් මොෂේ නකාෂ් ඇතුළු උසස් නිලධාරින් හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ අතිරේක සාමාන්‍යාධිකාරි ඒ.කේ.යු රෝහණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වි සිටියහ.
