අත්පා සහ මුඛය ගැට ගසා ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් කැලෑවකින් හමුවෙයි

අත්පා සහ මුඛය ගැට ගසා ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් කැලෑවකින් හමුවෙයි

December 18, 2025   08:46 am

මනම්පිටිය පොලිස් වසමේ කොටලීය පාලම ආසන්නයේ කැලෑබඳ ප්‍රදේශයේ තිබී අත්පා හා මුඛය ගැට ගසා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමුවී ඇත.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (17)  අලුයම මෙම මෘත ශරීරය හමුව ඇති අතර, අපරාධය සම්බන්ධයෙන් මනම්පිටිය පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි දළුකාන, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ටිපර් රථ රියදුරෙකි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් තම ස්වාමියා නිවසට නොපැමිණි බවට ඊයේ සවස පොළොන්නරුව පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇත.

ඒ අනුව ටිපර් රථයේ සවිකර තිබූ GPS තාක්ෂණ පද්ධතිය ඔස්සේ සිදුකළ පරීක්ෂාවේදී මියගිය පුද්ගලයා ටිපර් රථයට වැලි පටවාගෙන පොළොන්නරුව - මනම්පිටිය ප්‍රධාන මාර්ගයේ ගමන් කර ඇති බවට අනාවරණය වී තිබුණි.

ඒ අනුව ටිපර් රථය පොළොන්නරුව පොලිස් වසමේ මෛත්‍රීපාල වටරවුම අසල නවතා දමා තිබියදී හා රියදුරුගේ මෘත ශරීරය මනම්පිටිය පොලිස් වසමේ කැලෑබඳ ප්‍රදේශයේ තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත. 

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මනම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර, ඊයේ අලුයම වැලිගෙපොල පොලිස් වසමේ හඳගිරිගොඩ ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට වැලිගෙපොල පොලිස් ස්ථානය වෙත ලද 119 පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

මරණකරු වයස අවුරුදු 70ක් වූ හඳගිරිය, බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිදුකළ විමර්ශනයේදී මරණකරු ඔහුගේ නිවසේ ඇඳ මත මියගොස් සිට ඇති අතර එම නිවසේ ලියකියවිලි ඇද දමා ඇති බවට නිරීක්ෂණය වී ඇත. 

මරණකරුගේ සහෝදරියගේ නිවසටද පුද්ගලයෙකු පැමිණ ඇයගේ ගෙල මිරිකා නිවසේ තිබූ ලියකියවිලි ඇද දමා ගිය බවත්, ඇයගේ නිවසට පැමිණි පුද්ගලයා මරණකරුගේ පුත්‍රයෙකු බවට හඳුනාගත් බවත් එම කාන්තාව විසින් වැලිගෙපොල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 

ඒ අනුව ඊයේ රාත්‍රී කාලයේ හඳගිරිය ප්‍රදේශයේදී මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වැලිගෙපොල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මරණකරුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.