ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

December 13, 2025   04:31 pm

ශ්‍රී ලාංකිකයින් ඇතුළු 18 දෙනෙකුගෙන් සමන්විත නෞකා කාර්යය මණ්ඩලයක් සහිත විදේශීය ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට ගෙන තිබේ.

ලීටර් මිලියන 06ක ඉන්ධන තොගයක් නීතිවිරෝධීව ජාවාරම් කරන බවට චෝදනා කරමින් ඕමාන බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී අදාළ නෞකාව ඉරාන බලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් නෞකා කාර්යය මණ්ඩලයේ පිරිස අතර ශ්‍රී ලාංකිකයින්ට අමතරව ඉන්දීය හා බංග්ලාදේශ ජාතිකයින් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නැවතුම් නියෝග නොසලකා හැරීම, පලා යාමට තැත් කිරීම හා නෞකාවේ ලිපිලේඛනවල දුර්වලතා යනාදී කරුණු යටතේ ඊයේ පස්වරුවේ අදාළ නෞකාව සිය භාරයට ගත් බව ඉරාන බලධාරීන් ප්‍රකාශ කර ඇත.

ගතවූ සති කිහිපය තුළ ඉරානය විසින් මෙවැනි නෞකා රැසක් සිය භාරයට ගෙන තිබුණි.

ලොව අඩුම ඉන්ධන මිල ගණන් පවතින ඉරානයේ සිට අසල්වැසි රටවල් වෙත මුහුදු මාර්ගයෙන් ඉන්ධන ජාවාරම් බහුලව සිදුවන බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර අදාළ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන්, ටෙහෙරාන් සහ මස්කට්හි තානාපති කාර්යාල හරහා නිල තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

ඒ අනුව අදාළ පාර්ශ්වයන්ගේ ඊට පිළිතුරු අපේක්ෂාවෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් විස්තර තහවුරු කර ගැනීමෙන් පසුව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා පටිපාටිවලට අනුකූලව සුදුසු පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.